(ඩයනා උදයංගනී)

රටෙහි පවතින වත්මන් ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11ක් විසින් සකසන ලද යෝජනාවලිය ඇතුළත් “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී අද (2)  සිදුකෙරිණි

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්‍ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද මෙම ප්‍රකාශනයෙහි යෝජනා 10ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව අත්විඳිමින් සිටින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල බවත්, කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන හා බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්‍රස්තා සලසමින් සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන ආර්ථික ආකෘතියක් නිර්මාණය කළ යුතුව ඇති බවත් මෙම පක්‍ෂ පවසයි.

වත්මන් දුෂ්කර අවස්ථාව අභියෝගයක් සේ සලකා, එය ජයගැනීම උදෙසා වන යෝජනාවලියක් මෙසේ ඉදිරිපත් කරන බව ද එම පක්‍ෂ නායකයෝ පවසති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරු සහ විජය ධරණි ජාතික සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම අවස්ථාවට සහභාගී වෙති .

විද්වත, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)