(හර්ෂණ තුෂාර සිල්වා)

නූතන යුද්ධවලට ආරම්භයක් හෝ අවසානයක් නැතැයි නිතින් ඒ ගෝකලේ මහතා අද (29) ප්‍රකාශ කළේය.

"සිවුවැනි ඊළාම් යුද්ධය වාර්තා කරන්න මම ලංකාවට පැමිණියා. සිවුවැනි ඊළාම් යුද්ධයේදී අපි බොහෝ දේ ඉගෙන ගත්තා. සිවුවැනි ඊළාම් යුද්ධය සාර්ථකව අවසන් කරන්න හැකිවුණේ දේශපාලනික, රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදා අංශවල තිබුණු සාර්ථකත්වය නිසයි. අනාගත අවිනිශ්චිතයි. මීළඟ යුද්ධය කිසිදු අනතුරු ඇඟවීමක් නැතිව පැමිණෙන්න පුළුවන්. එය කාලය තීරණය කරාවි. ඒ වගේම කාලය පිළිබඳ පරීක්ෂාවක්. එපමණක් නොව එය රජයන් සහ හමුදා අතර අරගලයක් බවට පත්වේවි. ඒ නිසා මේ ආරක්ෂක සමුළුවේදී සාකච්ඡාවට ලක් කෙරෙන මාතෘකා ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම ඉතා වැදගත් අප 21 වැනි සියවසේ තෙවැනි දශකයකට එළැඹෙමින් සිටියත් ඇතැම් පාර්ශව ආරක්ෂාව සම්බන්ධයෙන් සිතන්නේ 20 වැනි දශකයේ ආකාරයට" යැයි ද හෙතෙම කීය.

අප 21 වැනි සියවසේ තෙවැනි දශකයකට එළැඹෙමින් සිටියත් ඇතැම් පාර්ශව ආරක්ෂාව සම්බන්ධයෙන් සිතන්නේ 20 වැනි දශකයේ ආකාරයට යැයි ද හෙතෙම කීය.

ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කළ කොළඹ ආරක්ෂක සමුළුවේ ආරම්භක සැසියේ මුඛ්‍ය දේශනය කරමින් නිතින් ඒ ගෝකලේ එම කරුණු සඳහන් කළේය. ශ්‍රී ලංකා යුද හමුදාව අඛණ්ඩව නවවැනි වරටත් සංවිධානය කරන ලද කොළඹ ආරක්ෂක සමුළුව ‘සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය’ යන තේමාව යටතේ පැවැත්වේ. 

නිතින් ඒ ගෝකලේ මහතා හවායිහි ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ ආදී විද්‍යාර්ථියක්, මාධ්‍යවේදියක්, ව්‍යවසායකයක්, හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ රචකයෙක් සහ උපායමාර්ගික කටයුතු පිළිබඳ විශ්ලේෂකයක් ද වේ. 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ආරක්ෂක සමුළුව ඇමතූ නිතින් ඒ ගෝකලේ මෙසේ ද කීය. 

“සාම්ප්‍රදායිකව ජාතික ආරක්ෂාව කියලා සැලකුවේ බාහිරින් එන තර්ජන සහ අභියෝගවලට මුහුණ දීමයි. ජාතික ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය ආරක්ෂා කිරීම සඳහා බලය භාවිත කිරීම වගේම එම නිසා විවිධත්වය සහ ඉවසීම ජාතික ආරක්ෂාව කියලා අර්ථ දැක්වූවා. මෑතකාලීනව ජාතික ආරක්ෂාව සහ ජාතික රහස් විවිධ පරිවර්තනවලට ලක්වුණා. ඒ වගේම ඒවා පෙරටත් වඩා පුළුල් සහ ව්‍යාප්ත වී තිබෙනවා. අද වනවිට ජාතික ආරක්ෂාව කියලා කියන්නේ අසල්වැසියාගේ හමුදා බලයට සමාන වීම නෙවෙයි. අද වනවිට විශේෂඥයන් ජාතික ආරක්ෂාව ලෙස හඳුන්වන්නේ බහුවිධ සහ බහු සංස්කෘතික ප්‍රවේශයක්.

පසුගිය දශක දෙක බැලීමේදී ඉතා හොඳින් සංවිධානය වූ සහ ආයුද සන්නද්ධ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් හා පාර්ශවල වර්ධනයක් නැගීමක් සිදුව තිබෙනවා. එය පොදුවේ දක්නට ලැබෙනවා. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තාම ඒවායේ සම්බන්ධය වැඩි වී තිබෙනවා.එවැනි තත්ත්වයක් තුළ තනි රටකට විශේෂීත සීමා හෝ ප්‍රතිචාර දැක්වීම හෝ කිරීම දුෂ්කරයි. ඇතැම් නොගැළපෙන සහ අසමමිතික අභියෝග පැමිණියේ 1990 කාලය දක්වා ලෝකය තුළ කිසිවක් නොකළ දුර්වල රාජ්‍යවලින්. 

අනෙක් අතට ගෝලීය ත්‍රස්තවාදී ජාලවල නැගි සිටීම. එම ජාලවල නැගී සිටීමත් සමඟ සාම්ප්‍රදායික යුද භූමියේ ජයග්‍රහණ විජයග්‍රහණ බවට හරවන්න හැකියාවක් නැහැ. ඇෆ්ගනිස්තානය වගේ රටවල ගැටුම් විශේෂයෙන්ම අපි මේ දකින ගැටුම්, අයි.එස්.අයි.එස් ඒ වගේම බෝකෝහරාම් මේවාට නැවැතීමක් නැහැ. මෙම ත්‍රස්තවාදීන් ඇවිත් නිල වශයෙන් බාර වෙන්නේ හෝ යටත් වෙන්නේ නැහැ. ඔවුන් නිල වශයෙන් අවි අත්හරින්නේ නැහැ. 

නූතන යුද්ධවලට ආරම්භයක් හෝ අවසානයක් නැහැ. ඒ වගේම රාජ්‍ය නොවන ආක්‍රමණිකයන්ගේ නැගී සිටීමත් දැක බලාගන්න පුළුවන්. ආර්ථික වශයෙන් බලවත් සහ කලාපීය වශයෙන් ශක්තිමත් රාජ්‍ය අද භූ දේශපාලනීය තරගකරුවන් බවට පත්ව තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධය සමයේදී අප මෙය දුටුවා. 
මේ නිසා හමුදාවලට සමමිතික සහ අසමිමිතික, ගැළපෙන සහ නොගැළපෙන ගැටුම් බලාපොරොත්තු වීමට සිදුවෙනවා. ඒ වගේම සෑම නව මෙහෙයුමකටම සම්බන්ධ වීමට සිදුවෙන්නේ සංකීර්ණ සහ විවිධ පරිසර තත්ත්ව යටතේ.

අපි අද 21 වැනි සියවසේ තෙවැනි දශකයට එළැඹෙමින් සිටිනවා. එහෙත් තවමත් අපේ බොහෝ දෙනා සිතන්නේ 20 වැනි සියවසේ ආකෘතියට. බොහෝ දෙනා ආරක්ෂාව සම්බන්ධයෙන් හිතන්නේ 20 වැනි සියවසේ විදියට. 

නූතන සමාජ හා ජාතීන්වලට සරණාගත අර්බුදය, සාමය පවත්වාගෙන යෑම, පරිසර ප්‍රශ්න හා අර්බුද, ගෝලීය සෞඛ්‍ය අර්බුද, මානුෂීය හදිසි තත්ත්ව, තාක්ෂණික සංවර්ධනය, ආර්ථික කඩාවැටීම්, ගැටුම් නිසා ස්වභාවික සම්පත් අඩුවීම යනාදී අර්බුදවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. මේවාට සාම්ප්‍රදායික ලෙස විසඳුම් සොයන්න බැහැ. 

සෞඛ්‍ය අර්බුද, ජල හිඟය, බෝවන සහ බෝවන රෝග, මෑතකාලීනව ඇති වූ සෞඛ්‍ය අර්බුද සහ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැතිවීම යනාදී සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන සම්බන්ධයෙන් මේ කලාපය තවමත් වැඩි අවධානයක් යොමු කර නැහැ. එහි වැදගත්කම අවබෝධ කරගෙන නැහැ. ජලය ප්‍රමාණවත් නොවීම නිසා අප්‍රිකාව, මැද පෙරදිග, දකුණු ආසියාව සහ උතුරු දිග චීනය යන කලාපවල ජීවත්වන බිලියන 3
3කට වැඩි පිරිසක් ජල හිඟය නිසා පීඩාවට පත්ව සිටිනවා. බොහෝ ජාතීන්ගේ සතුරන් පැමිණෙන්නේ පිටතින් නෙමෙයි. බොහෝ සතුරු ආක්‍රමණ සිදුවන්නේ රට ඇතුළේමයි. මහ පරිමාණ වශයෙන් සිදුවන සංක්‍රමණය, මත්ද්‍රව්‍ය ජාවාරම, ස්වභාවික දේශගුණික ආපදා යනාදිය ඒවාට බලපානවා. 
යොදාගත් ක්‍රමවේද නිරවද්‍ය නැති වුවත් අතීතයේදී ආධිපත්‍යය ළඟා කරගත්තේ තොරතුරු රැස් කිරීමෙන්. අද වනවිට සමාජ මාධ්‍ය, අන්තර්ජාලය සහ ඒ ආශ්‍රිත සියල්ල ලෝකයට විශාල තර්ජනයක් වී තිබෙනවා. ඒ වගේම අලුත් අර්බුද නිර්මාණය කරමින් සිටිනවා. මේ තත්ත්වය නිසා ආරක්ෂක අංශවලට සමබර සහ විවෘත මනසකින් කටයුතු කරන්න සිදුවෙලා තියෙනවා. භූමිය, මුහුද, ගුවන සහ අභ්‍යාවකාශයට වඩා සයිබර් අවකාශය ලෝකයට තර්ජනයක් වී තිබෙනවා. 

මේ නිසා ආරක්ෂක අංශ, සන්නද්ධ අංශ මේ සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කළ යුතුයි. එපමණක් නොව සුදුසු ඩිජිටල් ජාල සහ පහසුකම් යනාදියෙන් සන්නද්ධ විය යුතුයි. අනාගත හමුදාවලට කැරැලි මර්දනය, ජාතිය ගොඩනැගීම සහ ජනගහනය ආරක්ෂා කිරීම යනාදියේ සිට තවත් බොහෝ දේවල් සඳහා ශක්තිය සහ ධාරිතාව අවශ්‍ය වෙනවා. රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් හා පාර්ශවකරුවන් මෑතකාලීනව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ යම් යම් ක්‍රියාකාරකම් සිදු කර තිබෙනවා. ඒවා නොසලකා හරින්න බැහැ. ඒවා අපේ ඇස් ඇරවනවා. එම සිදුවීම් සුළුවෙන් තකන්න බැහැ” යැයිද ඒ මහතා කීය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)