(පාලිත ආරියවංශ)
 
නිවාස සහ වගාබිම්වලට හානිකරමින් මහියංගනය ප්‍රදේශයේ සැරිසරන තනි අලියෙකු නිසා, ග්‍රාම සේවා වසම් 16ක ජනතාව පීඩාවට පත්ව භීතියෙන් පසුවන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල්.එච්.දිසානායක මහතා බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අද(04) පැවැසීය.
 
ඉකුත් දින කිහිපය තුළදී පමණක් එම අලියා නිවාස 20 කට හානි කර ඇති බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා කියාසිටියේය.
 
අද පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එහිදී  දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
 
අලි උවදුර දැනුම් දුන් විට වනජීවී නිලධාරින් ක්‍රියාත්මක නොවන බවට ජනතාව මැසිවිලි නගන බව සුදර්ශන දෙනිපිටිය මහතා පැවසූ අතර එහිදී, අලි නිර්වින්දනය කර අල්ලා අභය භූමියකට රැගෙන ගොස් නොදමන්නේ ඇයිදැයි කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා  වනජීවී නිලධාරීන්ගෙන්  ප්‍රශ්න ක‍ළේය.
 
එම ප්‍රශ්නයට පිළිතුරු දුන්  අඩවි ආරක්ෂක සිසිර රත්නායක මෙසේ පැවසුවේය.

“එක යුනිට් එකකට තියෙන්නේ, එක වාහනයක් හා නිලධාරින් 13 ක් පමණයි. ග්‍රාමසේවා වසම් 35 ක අලි උවදුරු මැඬලීමට මේ නිලධාරින් ගණන ප්‍රමාණවත් නොවන නිසා ප්‍රමාදවනවා. ඇතැම්විට වසම් කිහිපයකට එකවර අලි පැමිණීමේදි මේ තත්වය මතුවනවා.
 
හොරොව්පොතාන  අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබිය හැකි ප්‍රමාණයට මේ වන විට අලි රඳවා තබාගෙන සිටිනවා. ලුනුගම්වෙහෙර අලි රැදවුම් මධ්‍යස්ථානය  සකස් කර අවසන් වූවාට පසුව අලි අල්ලා රැගෙන ගොස් එහි දමන්න පුලුවන්” යැයිද පැවසීය.
 
කෙසේ නමුත් මෙම තනි අලියා ඇල්ලීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවට රත්නායක මහතා සඳහන් කළේය.
අලි ගමන් කරන මාර්ගයට අවශ්‍ය ඉඩම් ලබාදීමට ජනතාව කැමැත්තෙන් පසුවන නිසා ඉක්මණින් අලිවැටක් ඉදිකිරීමට පියවරගත යුතු බව ග්‍රාමීය හා පාසැල් යටිතල පහසුකම් ප්‍රවර්ධන  රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ මහතා මෙහිදී  අවධාරණය කළේය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, චාමර සම්පත් දසනායක සහ වඩිවේල් සුරේෂ්  යන මහත්වරුද  මෙම රැස්වීමට සහභාගි වූහ.

(ඡායාරූප - බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවස්ථා)