( තිළිණි ද සිල්වා )

විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සඳහා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

එබැවින් ශ්‍රී  ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට සහ පිටවීමට අවසර ලබා දීම සඳහා ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන්නැයිද විදේශ අමාත්‍යාංශය මෙරටට පැමිණෙන සහ පිටතට යන  ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටී.

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය, වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දෙමින් අද (16) සිට යළි ඇරඹෙන බවද එම අමාත්‍යාංශය කීය.

විදේශ රටවල පදිංචි ලාංකිකයින්ට මෙම වැඩපිළිවෙළ ගැන වැඩිදුර හා සත්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ළඟම ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය අමතා ලබා ගැනීම හෝ https://www.contactsrilanka.mfa.gov.lk/ වෙබ් ලිපිනයෙහි පිහිටි ‘ශ්‍රී ලංකාව අමතන්න’ සජීවි අන්තර්ජාල පිවිසුම වෙත පිවිසෙන්නැයිද අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.