(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යුරෝපා කොමිසමේ සාමාජිකයන් ලංකාවේ සිටියදීම  මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම බරපතළ තත්වයක් බව  පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (5)පැවැසීය.

මේ අතර සුදුලූනු වංචාව ගැන  හෙළිකළ  කිසිවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට   මෙතෙක් කැඳවා  නැතැයිද  හෙතෙම සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා මෙසේ පැවසුවේ එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගය පිළිබඳ   විවාදයේදීය.

මෙම මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූයේ  සුදුලූනු වංචාව ගැන  ලිවීම නිසා බවත් එසේ කටයුතු කිරීම තමා  හෙළා දකින බවත් කිරිඇල්ල මහතා  කීවේය.

යුරෝපා සංගමයේ නියෝජිතයන්  පැමිණියේ   ලංකාවේ තත්වය හොඳින් අවබෝධ කරගෙන  බවත්  මානව අයිතිවාසිකම් උල්ලංඝණයවීම ගැන,  සිවිල් අයිතිවාසිකම් නැතිවීම ගැන ඒ අය මනා අවබෝධයකින් සිටි බවත්  හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට විරුද්ධව සම්මත කෙරුණු  මානව හිමිකම් කොමිසමේ යෝජනාවලියෙන් ඒ බව පැහැදිලිවන බවද ඔහු  පැවසුවේය.

කුමන ප්‍රශ්න තිබුණත් ජී එස් පී ප්ලස්  සහනය නැති නොකරන්නැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  ඉල්ලා සිටි බවත්  ඔහු එසේ පැවසූ විට යුරෝපා සංගමය ඒ ගැන ඉහළින්ම  ප්‍රතිචාර දැක්වූ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

යහපාලන රජය එදා ඉදිරිපත් කළ යෝජනා ගැන  පුදුමයට පත්වූ බව එම නියෝජිතයන් පැවසුවේ යැයි  පැවසූ කිරිඇල්ල මහතා  දහනව වැනි සංශෝධනයෙන් ලබාගත් ජයග්‍රහණ මේ ආණ්ඩුව බලයට පැමිණ ආපස්සට හරවන බව ඔවුන්  ප්‍රකාශ කළේ යැයිද  කීවේය.