(නිමල කොඩිතුවක්කු)
 
අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබාදී තිබියදී යහපාලන රජයේ අමාත්‍යවරයකුගේ කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැලසුම් කළ දිනට මධ්‍යම අධිවේගී මාර්ගයේ  අවසන් කළ නොහැකි වූ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පමා වූ  සමාඟම පිළිබඳව අනිද්දා (2) දිනයේ තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ  කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ සහ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන කොටසේ  ඉදිකිරීම්වල වත්මන් තත්වය සොයා බැලීමට සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
එම මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙසට අවස්ථා කිහිපයකදීම එම සමාගමට අවවාද කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කියා සිටියේය.
 
එම සමාගමට ඉදිකිරීම් කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකි නම් මේ වන විට ඉදිකිරීම් කටයුතුවල අවසන් අදියරේ සිටින අනෙකුත් කොන්ත්‍රාත් සමාගම් වලට ඔවුන්ගේ කොටසේ ඉදිකිරීම් ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලබා දී ඔවුන් ඉවත් විය යුතු බවද හෙතෙම කීය.
 
එමෙන්ම කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගැට්ටුවාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අවට නව නගරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මෙම අධිවේගී මාර්ගය දෙපස පැළ සිටවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් , කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්.කේ.කොඩිතුවක්කු , මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කෙහෙල්ඇල්ල , ඉදිකිරීම් බාර කොන්ත්‍රාත් සමාගම්වල නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.