(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති "මුදල් සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක්කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දන්වා සිටියේය.

මුදල් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 08 ක් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙඨ රජයේ නීතීඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව දැනුම් දුන්නේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ අදාළ පනත් කෙටුම්පතේ 4,5,8,12,14,17 යන පිටුවල සදහන් විධි විධාන කිහිපයක් සංශෝධනය කිරීමට නියමිත බවය.

එම සංශෝධන ඇතුලත් අවසන් පනත් කෙටුම්පත අධිකරණයට සහ එයට එරෙහිව පෙත්සම් ගොනු කළ පාර්ශවයන්ට හෙට ලබා දෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.