(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් අවදානම යටතේ පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේදී  පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ  කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට සවස 2.30ට  පැවැත්වීමට නියමිතය.

මේ රැස්වීම පිළිබඳව සියලු පක්ෂ නායකයන්ට  දැනුම් දී ඇතැයි  පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තු රැස්වීම් කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය සතියේදී  රැස්වුණේ ද දින දෙකක් පමණි.ඒ පසුගිය 4 සහ 5 යන දෙදිනයේදීය.

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද කොවිඩ්  අවදානම හේතුවෙන් බොහෝ දුරට   දින දෙකකට සීමා වනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති .

මේ අතර පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන්නේ නම් දැඩි සෞඛ්‍ය විධිවිධාන යටතේ  එය කරන ලෙසට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට  දැනුම් දී ඇත.

කොවිඩ් ආසාදිත සේවකයෝ කීප දෙනෙක් පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පසුගිය දිනවල සොයා ගනු ලැබූහ.