(රොමේෂ් මධුෂංඛ)
 
මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යාපනය මැතිවරණ  කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකු යාපනය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
ටී.තම්බිරාසා නැමති ඔහු පවසා ඇත්තේ යාපනය මැතිවරණ කාර්යාලයේ පවතින, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද හිමි නාමලේඛනයේ ඡන්දදායකයින්ගේ නම් සිංහලෙන් පමණක් තිබීම නිසා යාපනයේ සිටින දෙමළ ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බවයි.
 
යාපනය පොලීසිය එම ස්ථානයට පැමිණ ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත්තේ එම ස්ථානයේ උපවාස කිරීම නීතිවිරෝධී බවට දැනුම් දෙමිනි.
 
නමුත් ඔහු එම ස්ථානයෙන් ඉවත් නොවී පොලිස් නිලධාරීන් සමග බහින්බස් වීම හේතුවෙන් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.