(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හවුල් ඉඩම් අයිතියක් නොමැති ‍පුද්ගලයන්ට මැණික් ගැරීමේ බලපත්‍ර  ලබා ගැනීමට තිබූ නීතිමය බාධාව ඉවත් කිරීමට අදාළ නියෝගවලට  කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන්වන  ‍දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්තේ සහ ප්‍රසන්න රණවීර යන මහත්වරු සහභාගී වූහ.

1993 අංක 50 දරණ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද මෙම නියෝග 2020 මාර්තු මස 02 වැනි දිනැති අංක 2165/1  සහ 2021 අප්‍රේල් මස 01 දිනැති අංක 2221/49 යන ගැසට් පත්‍රවල පළ වී ඇතැයි එම රැස්වීමේදී සඳහන් විය.

හවුල් ඉඩම් අයිතියක් නොමැති ‍පුද්ගලයන්ට බදු ඔප්පු මගින් මැණික් ගැරීම සදහා  අදාළ බලපත්‍රය ලබා ගැනීමට  මේ අනුව  හැකියාව ලැබෙන බව මෙහිදී අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහු පැවසූහ.

මෙම සාකච්ඡාවට කර්මාන්ත කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු  මාර්ගගත තාක්ෂණය හරහා  සම්බන්ධ වූහ.