IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


‘මට තිබූ අසීමිත බලතල මා පාර්ලිමේන්තුවට පවරා දුන්නා’

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය

මහනුවර ජනාධිපති මන්දිරයේ සිට

 

ආයුබෝවන්, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

ගෞරවණීය මහා සංඝරත්නයෙන් අවසරයි,

ඒ වගේම ගෞරවණීය සියලුම පූජකතුමන්ලාගෙන් අවසරයි,

ආදරණීය දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි,

2015 ජනවාරි මාසයේ 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ දී මගේ ජයග්‍රහණය සඳහා හැට දෙලක්ෂයකට වැඩි ජනතාවක් මා වෙත ඡන්දය පාවිච්චි කළා. ඒ සියලුදෙනාට අද දවසේත් මගේ ගෞවරණීය ස්තූතිය පුද කරනවා. ඒ වගේම 2015 ජනවාරි 08වනදා  මා ජයග්‍රහණය කර ජනවාරි 09 වැනිදා ජනාධිපති ධූරයේ දිවුරුම්දීමෙන් දින කිහිපයකට පසු මහනුවර ඓතිහාසික උතුම් දළදා වහන්සේ අභියසදී මා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළා. ඇතැම්විට එය ඔබට මතක ඇති. ජාතිය අමතා මා ප්‍රකාශ කළා නැවත මා ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව.

එසේ ප්‍රකාශ කළා වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් විධායක ජනාධිපතිවරයෙකු ලෙස මගේ තිබු අසීමිත විධායක බලතල මා පාර්ලිමේන්තුවට පවරා දුන්නා. ඇමති මණ්ඩලයට, ස්වාධින කොමිෂන් සභාවලට, අධිකරණයට ඒ බලය ලබාදුන්නා. එයින් මා නැවතුනේ නැහැ. ජනතාව මාව ඡන්දයෙන් පත් කරගත්තේ වසර 06ක් සඳහා. වසර 06කට ජනතාව විසින් මා පත්කර ගනු ලැබුවත් එයින් වසරක් අඩුකරගෙන වසර 05ක නිල කාලයක් බවට පත්කර ගත්තා. බොහෝ විට අපේ රටේ බලයට පත්වූ සෑම නායකයෙක්ම ඇතැමිවිට සිරිතක් ලෙස, ඇතැම්විට සම්ප්‍රදායක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කළේ තමාගේ බලය ශක්තිමත් කර ගැනීම සඳහා. නමුත් මම සතුටු වෙනවා එම අසීමිත විධායක බලය මා විසින් ඉවත් කළා සේම ජනාධිපතිවරයෙකුගේ කාලය වන වසර 06 වසර 05ක් බවට පත් කළා වගේම ජනතාව ඡන්දයෙන් ලබාදුන් නිල කාලයේ වසරක් ද මා විසින් අඩු කර ගනු ලැබුවා.

මාගේ නිල කාලයේ දී  රට තුළ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මට හැකි වුණා. කිසිම කාලයක නොතිබු නිදහසක් ජනමාධ්‍ය නිදහසක්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමත් මා උපරිම ලෙස කළා කියලයි මම විශ්වාස කරන්නේ. එහි ප්‍රතිඵලය වූයේ මා විසින් ලබාදුන් ඒ අසීමිත මාධ්‍ය නිදහස හා ශක්තිමත් කළ ප්‍රජාතන්ත්‍රවාදය පාරාවළල්ලක් කර ගනිමින් මටම බරපතළ නින්දා අපහාස, චරිත ඝාතන කරමින් ඉතා අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය අඩවි හරහා නිකුත් කිරීම. මා ඒ කිසි දෙයකින් සැලුණේ නැහැ. මගේ ප්‍රතිපත්තිය එය වූ නිසා.

ඒ වගේම 1947 සිටම බලයට පත්වූ සියලුම රාජ්‍ය නායකයන්ට 2015 දක්වාම කළ නොහැකි දෙයක් මගේ නිල කාලය තුල  ඉටු කිරීමට හැකිවුණා ජනතාවට ලබාදුන් පොරොන්දුවක් අනුව. ඒ තමයි රාජ්‍ය මැදිහත්විම තුළ කිසිදු මිනිස් ඝාතනයක්, දේශපාලන වශයෙන් පළිගැනීමක්, ශාරිරික හිංසාවක් පීඩාවක්, කෙනෙකුගේ දේපළවලට හානි සිදුකිරීමක් ඒ කිසිවක් මගේ නිල කාලය තුළ සිදු වූයේ නැහැ. තවත් ලෙසකින් කියනවනම් ආණ්ඩුවේ තුවක්කු දේශපාලන පළිගැනීම් මත හෝ වෙනත් වෛර පිරිමසා ගැනීම සඳහා කිසිම පුරවැසියෙකුට පත්තු වුණේ නැහැ.

මගේ මැතිවරණ ප්‍රකාශනයෙන් ජනතාවට දුන් ප්‍රතිඥාවන් තුළ බොහෝ දේ මට ඉටුකිරීමට පුළුවන් වුණා වගේම රට සහ ජනතාව වෙනුවෙන් කළ හැකි බොහෝ දේ මා ඉටුකළා කියලා මා විශ්වාස කරනවා. එහෙත් මගේම රජයේ පාර්ශ්වයන් අතර මා හා තිබු ප්‍රතිත්තිමය ගැටුම්, දේශපාලන ගැටුම්, පෞද්ගලික නොවූ ප්‍රතිපත්ති සහ දේශපාලන ගැටුම් නිසා ආණ්ඩුව තුළ බරපතළ අර්බුද ඇති වූ බව රහසක් නොවේ. ඒ නිසා විශාල වැඩකොටසක් පසුගිය අවුරුදු 05කට ආසන්න කාලය තුළ රජයක් විදියට අප ඉෂ්ඨ කළා වගේම රට සහ ජනතාව වෙනුවෙන් කළයුතුම වැඩකොටස් කිරීමට අපහසු වුණා. ඒ ආණ්ඩුවේ තිබු ගැටළු සහගත තත්ත්වය නිසයි.

විශේෂයෙන් ඔබ දන්නවා විධායක ජනාධිපති ධූයේ අසීමිත බලතළ පිළිබඳ. මා පැවසුවා විධායක ජනාධිපති ධූරයේ තිබු ඒ අසිමිත බලතළ මා ඉවත් කළා කියා. ඒ අසීමිත බලතල ඉවත් කළා වගේම ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහ සාමකාමී තත්ත්වය තුළ වැරදි සහගත ලෙස ප්‍රයෝජන ගත් අයත් සිටිනවා. ඒ පිළිබඳ අතීත ආවර්ජනයක් කිරීමට මා මේ අවස්ථාවේ කාලය ගතයුතු යැයි කියා මා විශ්වාස කරන්නේ නැහැ.

ඔබට මතක ඇති මා බලයට පත්වන විට ඔබෙත්, මගේත් මාතෘ භූමියට තිබු විදේශ බලවේගවල දැඩි බලපෑම් , අතපෙවීම්, තර්ජන මා ඒ අතීතය මතක් කරන්නේ 2014 වන විට අන්තර්ජාතික වශයෙන් රට තිබු තත්ත්වයත්, අද තිබෙන තත්ත්වයත් සංසන්දනය කර සිහිපත් කර ගැනීම සඳහායි. ඒ තිබු දැඩි බලපෑම්, අතපෙවීම්, අතැම්විට තර්ජනය කිරීම් යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව වැරදි සිදුවුනාය කියන චෝදනා මත එල්ල වූ අන්තර්ජාතික බලපෑම් මගේ නිල කාලය තුළ සියයට අනූ නවයක්ම මා ඉවත් කළා කියලා මට විශ්වාසයි. ජාත්‍යන්තර අධිකරණ ලංකාවට ගෙන ඒම පිළිබඳ කථා කළා. ඒවගේම රටේ ඒකීය භාවයට අන්තර්ජාතික වශයෙන් අභියෝගයක් තිබුණා. නමුත් ඒ සියල්ලෙන්ම අද අපි මිදී තිබෙනවා.

අපටහෙට දවසේ ප්‍රධාන අභියෝග කිහිපයක් තිබෙනවා. දුගී භාවය, දුප්පත්කමින් නිදහස් වීම, ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජාතින් තුළ ජාතික සමඟිය සහ සංහිඳයාව ගොඩනඟමින් පු`ථල් සමඟියක් තුළ සහෝදරත්වයක් සහ විශ්වාසයක් තුළ මේ රටේ ජනතාවට එකම පවුලක් වශයෙන් ජීවත්වීමට අවශ්‍ය ඒ පසුබිම ගොඩනඟා ගැනීම. මා ඒ සඳහා විශාල උත්සාහයක් ගත්තා. එහි හොඳ ප්‍රතිඵල තිබෙනවා. නමුත් ජාතින් තුළ විශේෂයෙන් භාෂාමය වශයෙන් තිබෙන බිය, සැක, අවිශ්වාසය සම්පූර්ණයෙන්ම අපි තුරන් කිරීමට කටයුතු කිරිම අවශ්‍ය වෙනවා.

ඔබ දන්වා වංචාවට සහ අක්‍රමිකතාවයට විරුද්ධව මා දැඩි දේශපාලන තීන්දු කිහිපයක් ගත්තා. තමාගේම රජයේ වංචා දූෂණ සොයන්න අධිකරණ බලය තිබෙන ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. තමාගේම රජයේ වංචා දූෂණ සොයන්න අධිකරණ බලය තිබෙන ජනාධිපති කොමිසන් සභාවක් පත් කළ එකම රාජ්‍ය නායකයා මා බව මම හිතන්නේ ඔබ දන්නවා. එය මීට පෙර සිදුවී තිබුණේ නැහැ. ඒ වගේම දුෂණ වංචා පිළිබඳ කථා කරන විට ඔබට මතක ඇති, මහ බැංකුවේ මහා මූල්‍ය වංචාව, මේ රටේ රාජ්‍ය ආයතනවල සිදුවූ ඉහළම මූල්‍ය වංචාව ඒ පිළිබඳ සොයන්න ජනාධිපති කොමිසන් සභා පත් කළා, පරික්ෂණ පැවැත්වුවා. චූදිතයන්ට නඩු පැවරීම් සිදු කළා. ඒ පරික්ෂණ කටයුතු තවමත් සාර්ථකව කෙරෙනවා. එපමණක් නොව ඒ සඳහා පත් කළ ජනාධිපති කොමිසන් සභාවේ නිර්දේශ අනුව මහ බැංකුව තුළ වෝහාරික විගණනයක් කළයුතුයි කියා නිර්දේශයක් තිබුණා. එය අපේ දේශීය විගණන ආයතනවලට කළ නොහැකියි. ඒ නිසා මීට අවුරුදු දෙකකට පෙර ජාත්‍යන්තර ආයතනවලින් මිල ගණන් කැඳවා වෝහාරික විගණන කරලා විගණන වාර්තා 05ක් මේ වන විට ලැබී තිබෙනවා. ඔබ පුදුමයට පත්වන කරුණු ඒ තුළ තිබෙනවා. මම විශ්වාස කරනවා බලයට පත්වන නව රජය එම වෝහාරික විගණන වාර්තා 05 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතාවට විවෘත කරනු ඇතැයි කියා.

හෙට දවසේ අලුත් ජනාධිපතිවරයෙක් රටට පත් වෙනවා. මට හිතෙන විදියට අලුත් ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව මුහුණදෙන පළවෙනි අභියෝගය කුමක්ද, පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 අතරින් දූෂණයෙන් තොර අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගැනීමේ අභියෝගය නම් ඔහුට තිබෙනවා. නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු යටතේ 1947න් පස්සේ මේ රටේ නිර්පාක්ෂික රාජ්‍ය නායකයෙක් යටතේ ජාතික මැතිවරණයක්, ජනාධිපතිවරණයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය. නාම යෝජනා භාරදුන් දිනයේ සිට අද දක්වාම මම දේශපාලන වශයෙන් පක්ෂ බේදයකින් තොරව අපක්ෂපාතිව, මධ්‍යස්ථව මගේ යටතේ තිබෙන ත්‍රිවිධ හමුදාව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරීවලට සම්පූර්ණ සහයෝගය ලබාදීම සඳහා සකස් කරමින් රට තුළ ඉතාම සාමකාමී මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය ඉඩ කඩ ලබාදුන්නා.

මෙතරම් සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට පුළුවන්කම ලැබුණේ මා නිර්පාක්ෂික වූ නිසා කියලයි මම විශ්වාස කරන්නේ. මීට පෙර රාජ්‍ය නායකයා ලෙස සිටි සෑම අගමැතිවරයෙක්ම, සෑම ජනාධිපතිවරයෙක්ම ඒ මැතිවරණයේ දී යම් දේශපාලන පක්ෂයක නායකත්වය ගෙන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම කළා. ඒ නිසා රාජ්‍ය බලය පාවිච්චි කිරීම ඇතැම්විට අසිමීත විදියට සිදු වුණා. ඔබ ඒ ඉතිහාසය ගැන දන්නවා. මම ඒ ගැන කථා කරන්න කාලය ගන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වයන් තුළ එදා මගේ මැතිවරණ අවස්ථාවේ, 2015 අද මේ 2019 නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණය අවස්ථාවේ වෙනස නම් කොපමණද, ශ්‍රී ලාංකීය සමාජය කෙතරම් ඉදිරියට ගොස් තිබේද යන්න කදිම මාපකයක් එදා සහ අද මැතිවරණය.

කෙසේ වෙතත් නව ජනාධිපතිවරයාට වගකීම් සමුදායක් තිබෙන බව ඔබත්, මමත් දන්නවා ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා ඒ වගේම තිරසර සංවර්ධනය සඳහා ඒ වගේම මා ශක්තිමත් කළ ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාම සඳහා, මා ලබාදුන් අසීමිත මාධ්‍ය නිදහස තව තවත් ශක්තිමත් කරමින් ඒ මාධ්‍ය නිදහස ඉදිරියට ගෙනයාම සඳහා පත්වන නව ජනාධිපතිවරයාට වගකීමක් පැවරෙනවා.

මගේ නායකත්වය තුළ රටේ ක්‍රියාත්මක වූ විශේෂ ව්‍යාපෘති යුගයට අවශ්‍ය, කාලයට අවශ්‍ය මත්ද්‍රව්‍ය මර්දන ව්‍යාපාරය, ඒ වගේම දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන,  වකුගඩු රෝගය අවම කිරීම සඳහා ඊට ගොදුරුවූවන්ගේ සුබසාධන කටයුතු, ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය, දරුවන් සුරකිමු ජාතික වැඩපිළිවෙළ ඒවා ප්‍රමුඛ වෙනවා. මා විශ්වාස කරනවා වගේම මා ඉල්ලා සිටිනවා එම වැඩසටහන් මා කළාටත් වඩා ශක්තිමත් ලෙස නව රජයක්, නව ජනාධිපතිවරයෙක් යටතේ ක්‍රියාත්මක කරයි කියලා. මා ඒ සඳහා ප්‍රාර්ථනා කරනවා.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය වගේම සංවර්ධනය නීතිය හා සාමය රටේ ඒකීයභාවය මේ කියන කරුණුවලදී යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ කැපවීම, පරිත්‍යාගශිලිභාවය රාජ්‍ය සේවයේ වැටුප් ලබන කෙනෙකුට වඩා ඉන් එහා ගිය සිය මාතෘ භූමිය ගැන සිතමින් ඔවුන් කරන යුතුකම් සහ වගකීම් පිළිබඳව විශේෂ ස්තුතියක් ත්‍රිවිධ හමුදාවට පොලිසියට හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත්, ඒ වගේම සමස්ත රාජ්‍ය සේවයටත් මා මෙහිදී පිරිනමනු ලබනවා.

අපේ රටේ වසර දහස් ගණනක ශ්‍රේෂ්ඨ ඉතිහාසය, ඓතිහාසික පසුබිම සිහිපත් කරන විට ඉංග්‍රීසි පාලකයන්, අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කර ගැනීම පිළිබඳ ඉතිහාසය ඔබ දන්නවා. 1818 ජාතික විමුක්ති අරගලයට නායකත්වය දුන් වීරකැප්පෙටිපොළ ඇතුළු විරුවන් එදා ඉංග්‍රිසි පාලකයින් රාජද්‍රෝහින් විදියට හඳුන්වා ගැසට් නිවේදන නිකුත් කර තිබුණා.

නමුත් මා සතුටු වෙනවා මගේ නිල කාලය තුළ1818 ඒ විමුක්ති අරගලයේ ශ්‍රේෂ්ඨ විරුවන් රාජද්‍රෝහින් බවින් ඉවත් කරලා දේශප්‍රේමින් ලෙස දේශහිතෛෂින් ලෙස ඔවුන්ව නම් කරලා ගැසට් නිවේදනයන් නිකුත් කරමින් ඒ ඓතිහාසික උතුම් කාර්යය මව්බිම වෙනුවෙන් ඉටුකළ ඒ සියලුදෙනාට ගරු කිරීමට ලැබීම වගේම ඔවුන්ව ඉතිහාසයට එක් කිරීමට ලැබීම පිළිබඳව.

මගේ ආදරණීය ජනතාව වගේම පොළොන්නරුවේ ජනතාව පිළිබඳවත් මා යමක් කිවයුතුමයි මේ අවස්ථාවේ. මගේ සමස්ත ගමන් මග තීරණය කරනු ලැබුවෙත්, ඒ සඳහා මට මුල් අඩිතාලම දැමුවෙත්, මගේ සාර්ථකත්වයේ මහා ස්ථම්භය වුවෙත් මගේ පොළොන්නරුවේ ආදරණීය ජනතාව, එතනින් තමයි මාව රටට දුන්නේ. ඒ නිසා මගේ නිල කාලය තුළ ඇතැම් වෙලාවට මාව විවේචනයට ලක්වුණා මම පොළොන්නරුවට වැඩ කරනවා වැඩියි කියලා, නමුත් මගේ මුල් දේශපාලන අඩිතාලම තුළ සිට රටේ සමස්ත ජනතාවගේ ආශිර්වාදයෙන් මා රාජ්‍ය නායකත්වය දක්වා ගෙන ඒමට කටයුතු කළ මගේ පොළොන්නරුව ආදරණීය ජනතාවට මා ගෞරව පූර්වක ස්තූතිය පිරිනමනවා.

මගේ පාලන කාලය තුළ කුමන අභියෝග හමුවේ වුවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ගොඩනැඟීමට මා කටයුතු කළා. ආණ්ඩුව තුළ තිබු මහා ගැටුම් උච්ච වූ අවස්ථාවන්ට පසුබිම වුයේ  රටට නොගැළපෙන අන්ත නව ලිබරල්වාදය සහ මා ගරු කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් මා ගරු කරන ස්වදේශිකවාදී චින්තනයන්. ස්වදේශිකවාදී චින්තනයකින් යුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අවශ්‍යතාවයයි රටට වැදගත් වන්නේ කියා මා විශ්වාස කරනවා.

විශේෂයෙන් ඔබත් මමත් සැමවිටම කතා කරන හා සාකච්ඡාවට හා සංවාදයට ලක්වන ජාතික සමඟිය හා සංහිඳියාව යන කරුණුවලදි මගේ නිල කාලය තුළ රටේ සමස්ත ජනතාවට වගේම යුද්ධයේදී වඩාත්ම පීඩාවට පත්වූ උතුරු නැගෙනහිර ජනතාවට විශිෂ්ට සේවයක් කරන්න මට පුළුවන්කම ලැබුණා. ඔවුන්ගේ ඉඩම් නිදහස් කිරීම්, සමාජ සුබසාධනය ඒ ප්‍රදේශවල භෞතික සම්පත් සංවර්ධනය එවැනි කරුණු රාශියක් ඔවුන් වෙනුවෙන් ඉෂ්ට කරන්න ලැබුණා. ඒ පිළිබඳව විවිධ විවේචන තිබෙනවා. මා කියන්නේ නැහැ සියයට සියයක් මාසියල්ල කළා කියලා. එසේ කරන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. නමුත් යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවක් ලෙස උතුරු නැගෙනහිර ජනතාවගේ දුක් වේදනා, ඉවත් කරන්න මට පු`ථවන්කම ලැබුණා. ජනාධිපති විශේෂ කාර්ය බලකායක් උතුරු නැගෙනහිර සංවර්ධනයට පත්කරලා පසුගිය අවුරුදු කිහිපය තුළ ඔවුන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරන්න මට ලැබුණා. ඒ ගැන මා ඉතාමත් සතුටු වෙනවා.

ජනාධිතිවරයෙක් වශයෙන් මා ගනු ලැබු ඇතැම් තීන්දු තීරණ ආන්දොලනාත්මකයි. සමහර අය කිව්වා මම කඩුව එළියට ගත්තා මිසක් කඩුව පාවිච්ච් කෙරුවේ නැහැ කියලා. නැහැ මම කඩුව පාවිච්චි කළා. මගේම අගමැතිවරයා අස් කළා. තවත් අගමැතිවරයෙක් පත් කළා. පාර්ලිමේන්තු විසුරුවා හරින්න රටේ සාකච්ඡාවට සංවාදයට, විවේචනයට ලක්වූ ගැසට් නිවේදන 05ක් මා නිකුත් කළා. මත්ද්‍රව්‍ය වැනි බරපතළ රටට අහිතකර දේවල්වලින් රට බේරාගන්න මත්ද්‍රව්‍ය මර්දනය වගේම පාතාලය අපරාධකාරයන් මර්දනය සඳහා දැඩි තීන්දු තීරණ ගත්තා.

පොලිස් දෙපාර්තමේන්තුව මගේ යටතට පත් වෙලා මාස 11යි. පොලිස් දෙපාර්තමේන්තුවේ කෙතරම්නම් ප්‍රශ්න ගොඩගැසී තිබුණාද, පොලිසියට අවශ්‍ය නීති මා සංශෝධනය කළා. අලුත් නීති හැදුවා, පොලිසියේ, පරිපාලනය, කළමනාකරණය, සම්පත් හිඟය මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දී ඉතාමත් වැදගත් නිසා මගේ මාස 11 දී මා ඒ තුළ විශාල පරිවර්තනයක් කළා.

ඒ වගේම නීතිය, සාමය , ප්‍රජාතන්ත්‍රවාදය, රටේ ඒකීයභාවය, භෞමිකඅකණ්ඩතාවය මේ කරුණු ඉදිරියේ දී අපට තිබෙන අභියෝගාත්මක කරුණු සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් වෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් මැලේ බර්ගර් ජනතාවගේ සාමුහිකත්වය ඉතා වැදගත්. අන්තර්ජාතික වශයෙන් බාහිරින් එල්ලවන අභියෝග මැඩලීමට, ජාතින් අතර සමඟිය සංහඳියාව ඉතාමත් වැදගත් වෙනවා.

මගේ නිල කාලය තුළ මුහුණ දුන් ඔබට මෙන්ම මටත් දැඩි වේදනාකාරී ඉතාම ඛේදජනක අත්දැකීමක් වූඅප්‍රේල් 21 වනදා සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදින්ගේ පාස්කු ප්‍රහාරය. එහිදී මිය ගිය ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ඒ ජනතාව මා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සිද්ධිය පැහැදිළි ලෙසම වළක්වා ගැනීමට හැකියාව තිබූ සිදුවීමක්. මා ඒ ගැන ඊට වඩා කතා කරන්නේ නැහැ.

විශේෂයෙන්ම කෙනෙක් මගෙන් ඇසුවොත් ඔබේ ජනාධිපති ධූරයේ නිල කාලය පිළිබඳ ඔබ තෘප්තිමත් වන්නේ ද, සතුටු වන්නේ ද කියා, ඒ ප්‍රශ්නය අසනවාත් සමඟම මා තත්ත්පරයක් හෝ ප්‍රමාද නොකර ලබා දෙන පිළිතුර නම් මගේ නිල කාලය පිළිබඳව මා තෘප්තිමත් වෙනවා, සතුටු වෙනවා හා සෑහීමකට පත් වෙනවා යන්නයි. ඒ රටට සහ ජනතාවට බොහෝ දේ මා ලබාදුන් නිසා.  මා ලබාදුන් බොහෝ දේ සාක්කුවට දැනෙන්නේ නැහැ. බඩට දැනෙන්නේ නැහැ, ඇගට දැනෙන්නේ නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් හැඬ ගැස්වීමේ කාර්යය, අධ්‍යාත්මික සමාජයක් ගොඩනඟන්න වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට මට හැකි වුණා. ප්‍රධාන වශයෙන්ම උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමට ලැබීම මගේ නිල කාලය තුළ මේ රටේ වගේම රටින් පිට සිටින බෞද්ධ ජනතාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් කළයුතුව තිබු විශාල වගකීමක් සහ යුතුකමක් ඉටුකිරීමක් කියා මා විශ්වාස කරනවා.

මා මීට වඩා දීර්ඝව කථා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. මගේ දේශපාල ජීවිතය සාර්ථක කිරීමට මගේ පිටුපස සෙවණැල්ල මෙන් සිටින මගේ ආදරණීය බිරිඳ ජයන්ති ඒ වගේම මගේ දරුවන් ඒ සියලුදෙනාම මා ස්තූති කරනවා. මා ඉතාමත් බරපතළ දේශපාලන තීන්දු තීරණ ගන්නා අවස්ථාවලදි උදාහරණයක් ලෙස සිහිපත් කළොත් 2014 නොවැම්බර් 21 එම අවස්ථාවේ සිට එදත්, ඊට පෙරත්, අදත් මට විශාල ආශිර්වාදයක් දෙන ඔවුන් මා මෙහිදී විශේෂයෙන් සිහිපත් කරනවා.

වසර 05 කට ආසන්න කාලයක් ජනාධිපති ධූරයේ ඔබට සේවය කළ මා ජනාධිපති ධුරයෙන් සමුගන්නවා.හෙට දවසේ නව ජනාධිපතිවරයෙක් ඔබේ ඡන්දයෙන් පත් කර ගන්නා බව ඔබත්, මමත් දන්නා දෙයක්. හෙට දවස වෙනුවෙන් රට වෙනුවෙන් හෙට උපදින දරුවන් වෙනුවෙන් පත්වන නව ජනාධිපතිවරයාට මගේ ආශිර්වාදය සහ සුබපැතුම් එක්කරනවා වගේම ඔහුට වඩාත් අධිෂ්ඨානශිලිව, ධෛර්යසම්පන්නව අවංකව රට වෙනුවෙන් සියලු සේවාවන් කිරීමට හැකියාව ලැබේවා කියා මම ආශිර්වාද කරනවා. සුබ පතනවා.

මගේ උතුම් මවුබිම වෙනුවෙන්, මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ අනන්‍යතාවයෙන් මා විසින් කළයුතු සියලු කැපවීම් හෙට දවසේත් ඉටුකිරීමට මා අදිටන් කරගෙන සිටිනවා. යුක්තිය ශක්තිය විය යුතුයි. සමාජ සාධාරණත්වය පැහැදිළි ලෙසම ඉටුවිය යුතුයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතුයි. මාධ්‍ය නිදහස, මානව හිමිකම්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඒවා සියල්ල ශක්තිමත් විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සමෘද්ධිමත් ආර්ථිකයකින් ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය ඉදිරියට ගෙන යාම සඳහා ලෝකයේ විශිෂ්ට ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනැඟීම සඳහා ඔබ සමඟ මා හෙට දවසෙත් එක් වෙනවා.

ඔබ සියලුදෙනාටම උතුම් දළදා වහන්සේගේ පිහිටයි, තෙරුවන් සරණයි.



අදහස් (27)

‘මට තිබූ අසීමිත බලතල මා පාර්ලිමේන්තුවට පවරා දුන්නා’

Sunil Saturday, 16 November 2019 01:02 PM

නෑ, රටම කාලා වගේ...

:       1       109

Mf Saturday, 16 November 2019 01:07 PM

මේපාර ඡන්ද පත්‍රිකාවට වඩා දිග පුවතක්...

:       0       107

කමල් Saturday, 16 November 2019 01:11 PM

ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාට තිබුණු බලතල කියලා කීවට ඒවා ජනතාව ඔබතුමාට පාවිච්චි කරන්න අවසර දීලා තිබුණු බලතල... ඔබතුමා ජනතාවගෙන් අහන්නේ නැතුව ඒ බලතල පාර්ලිමේන්තුවට දුන්නා කියනවා. නිසි ක්‍රමවේදය පාවිච්චි කරන්නේ නැතුව තමන්ගේ හිතු මනාපෙට ඔහොම කිරීමට කියන්න වෙන්නේ ජනතාවගේ බලතල හොරකම් කරා කියලා.

:       1       311

RaveendraSaturday, 16 November 2019 10:43 PM

කමල් මයා, ඔබගේ විග්‍රහය ඉතාම සාධාරණ සහ සාර්ථක එකකි. ඇත්තෙන්ම මෙයා සුත්තර පුන්චාගේ නොහොත් රට ඇම්ඩන්ගේ ගැටවලට ඉතා අවාසනාවන්ත ලෙස හසු උනා කිවොත් එය නිවැරදිය."සුත්තර පුංචා" යනු උපතේදීම පාවාදීම් පිළිබද ඥානය අරගෙන ආපු දේශද්‍රෝහියෙකි. මොහු කිවේ " මා පරිණත දේශපාලුවෙක් කියා " හා මෙවන් දශක ගණනක දේශපාලන අත්දැකීම් තියෙනවා කියලා. නමුත් අවසානයේ රටට අහිතකර අණපනත් වලට මාර්ගයද සාදා තමා මෙයා යන්නේ.

:       0       3

chamath Saturday, 16 November 2019 01:26 PM

ඔබතුමා යන එක ගැන මුළු ලංකාවම සතුටුදායක දවසක්...

:       0       179

chamath Saturday, 16 November 2019 01:28 PM

අසාර්ථකයි... මම දැකපු මේ අවුරුදු 50ටම...

:       0       240

chandima Saturday, 16 November 2019 01:40 PM

රට පාලනය කිරීමට විනා රටේ පලනක්‍රමය වෙනස් කිරීමට ජනතාව බලය දුන්නේ නැහැ නේද? කාගෙන් අහලද දින වකවානු වෙනස් කලේ? කාගෙන් අහලද පාර්ලිමේන්තුවට බලතල පැවරුවේ?

:       1       170

sena Saturday, 16 November 2019 01:40 PM

අනුන්ගේ වැඩ තමන්ගේ නමට ලියා ගන්න හැටි තමයි... තමුන්නාන්සේත්, අනෙකුත් දේශපාලකයිනුත් අතරේ වෙනස මොකක්ද?

:       0       105

පුරවැසියා Saturday, 16 November 2019 01:47 PM

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතු බව එහි වටිනාකම ඔබ දැනගත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඔබ සිදුකල දේශපාලන, මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණ ක්‍රියාවෙන් පසුව බව අපි දනිමු.

:       0       105

සුජිත් කුමාරසිරි Saturday, 16 November 2019 01:47 PM

ඕන කරන වෙලාවට පාර්ලිමේන්තුව විසුරවන්න බැරි, අගමැතිව යවන්න බැරි, පොලිස්පති අයින් කරන්න බැරි.., තමන්ගේ ඇමතියකුට දෙන විධානයක් ක්‍රියාවට නගන්න බැරි තරමටම බාල්දු වුණා...

:       2       156

Sanjeewa Saturday, 16 November 2019 01:49 PM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්පූර්ණයෙන්ම අසාර්ථක නායකයෙක්ට ලෝක ඉතිහාසයේ හොඳම උදාහරණයක් තමයි...

:       0       242

Nimal ... Saturday, 16 November 2019 01:58 PM

තව වසරක් විතර යනකොට ඔබේ ගුණවර්ණනා කිරීමට ඉදිරියට එන්නේ ඔබට දොස් නැගූ පිරිසමයි. සමාජ මාධ්‍ය ජාලා ඔබට එදාට පින් දේවි. අපි බලා සිටිමු. දුර, කල් නොදක්නා ජනතාවක් සිටින රටක ඔබ පත්වීම ඇත්තටම අන්ධයින්ගේ රටේ ඇස් පෙනෙන්නා ආබාධිතයෙක් කියනා කියමනට සමානයි. ඔබට ජය. තවත් අවංකව රටට සේවයක් කිරීමට වාසනාව උදාවේවා...!!!

:       231       155

KumaraSaturday, 16 November 2019 03:31 PM

ඒ රටම මානසික රෝගීන් වන දිනයකි.

:       1       0

jagath Saturday, 16 November 2019 02:01 PM

ඔබතුමාට සුබ පතනවා හදවතින්ම...

:       33       1

Nimal Saturday, 16 November 2019 03:00 PM

2015 අගෝස්තු මස රටේ ජනතාව විසින් සිය ඡන්දයෙන් පත්කළ රජය පිළිබඳ තීරණය රටේ ඡන්ද දායකයින් හට ගැනීමට ඉඩ නොදී ඔබතුමා නීතිවිරෝධී අන්දමින් එය පෙරලා දමා කළ ක්‍රියාව ඔබතුමාගේ පාලන සමයේ මැකිය නොහැකි කළු පැල්ලමකි.

:       0       1

saama Saturday, 16 November 2019 03:08 PM

සෝභිත හාමුදුරුවන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ මෙහෙයුම ඔබතුමා අමතක කළා.

:       0       208

විජිත් Saturday, 16 November 2019 04:22 PM

ඉස්සෙල්ලම ඔබතුමා අමතක කළේ නිර්පාක්ෂික ජනාධිපති කෙනෙක් වෙනවා කියන එකයි. තම පක්ෂය වෙනුවෙන් එය කළා කියලා ඔබ කියනවා. ඒ කියන්නේ ඔබට රටට වඩා පක්ෂය වැදගත් වුනා.මහා ජනතාව ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළ එස්.බි වැනි දුෂිතයින් නැවත පත්කරගත්තා. ඔබ ඔබට ඡන්දය දුන් මහජනතාවට දුන් පොරොන්දු කැඩුව අයෙක්. අපේ සෝභිත හාමුදුරුවන් අපවත්වන මොහොත වනවිට ඒ පිළිබඳව මානසිකව වැටිලයි හිටියේ. එජාප නායකයින් ඔබව රවටලා කොළ කෑලි වලට අත්සන් අරන් ඔබගේ තටු කැපුවා. ඔබ ඔබගේ පවුලේ අයට මදි නොකියන්න හම්බකරගන්න ඉඩ දුන්නා. බොරුද...?ජනාධිපත් මන්දිරය ගැන ඔබ එදා කිවේ..."අපිට මේවා පුරුදු නැහැ...මේවා වල නින්ද යන්නේ නැහැ ..මට ගම හොඳයි " කියලා.අන්තිමට බිලියන ගණනක් වටිනා ජනාධිපති මන්දිරයත්, අල්ලපු ගොඩනැගිලි දෙකත් අල්ලා ගත්තා. යන්න සුමානයකට කලින් අර මිනිමරුවාව නිදහස් කළා. හරි ෂෝක් ජනාධිපති කෙනෙක්.

:       1       3

Arjuna Saturday, 16 November 2019 03:15 PM

ඒක වීර ක්‍රියාවක් නොවේ. තමුන්ගේ නොහැකියාව පෙන්නුම් කිරීමක්.

:       0       0

නිමල් Saturday, 16 November 2019 03:15 PM

අසාර්ථකත්වය යනු කුමක්දැයි යමෙක් ඇසුවේ නම් මෙතුමා පෙන්වන්න.

:       0       0

firdhaws Saturday, 16 November 2019 03:23 PM

ඔඹ රටට කරපු අපරාදේ වෙන කව්රුත් කළේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ඔබ වැරදිකරුවෙක්. අනිවාර්යයෙන්ම නීතියෙන් දඩුවම් කළ යුතුයි.

:       0       0

Bamunuarachchi Saturday, 16 November 2019 04:30 PM

තව විදිහකින් කියනවානම් නරින්ට කුකුල්ලු බාරදුන්නා. රනිල්ට රට බාර දුන්නා. බැරිවෙලාවත් සජිත් ජන්නධිපති උනොත් ඉවරයි.

:       1       0

Bamunuarachchi Saturday, 16 November 2019 04:35 PM

මේ අවුරුදු 5 ට රටට කරපු මගුලකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. හැබැයි ජනතාවගේ සල්ලිවලින් ගෙවල් කාර් ලැබුනා.

:       0       0

Namal Silva Saturday, 16 November 2019 07:18 PM

මෙය ආත්මාර්ථකාමී කතාවකි.

:       0       0

vidya Saturday, 16 November 2019 07:58 PM

දැන් ඉතින් අර පුරන් කුඹුරු අස්වද්දන තරුණ තරුණියන් එක්ක එකතුවෙලා දන්නා දේ හරියට කෙරුවනම් හොඳයි නේද ? නොදන්නා දේවල් කරන්ඩ ගිහින් ඔක්කොම අනලා දාල යනවා නේද?

:       0       0

Dilan Sunday, 17 November 2019 02:33 AM

හරි හරි. අපිත් මේ රටේ හිටියේ.

:       0       0

සෙනෙවිරත්න Sunday, 17 November 2019 05:28 AM

මේ රටේ කිසිම පාලකයෙකු පෙර සිටි පාලකයාට වඩා හොඳ වූයේ නැත. රට වසර 70 ක් තිස්සේ පල්ලම් බැස්සේ එයට සමානුපාතිකවය. නව පාලනයේ තරම ඉක්මනින් විඳිය හැකි වනු ඇත.

:       0       1

BamunuarachchiSunday, 17 November 2019 12:26 PM

"මේ රටේ කිසිම පාලකයෙකු පෙර සිටි පාලකයාට වඩා හොඳ වූයේ නැත." කොපමණ කල් සිට දේශපාලනය තමන්ගේම ඇස්වලින් දැක්කාද? ඔබ හොඳ නරක වෙන්කරන්නේ කොහොමද? බණ්ඩාරනායක මහතා කලින් සිටි කොතලාවලට වඩා හොඳින් රට පාලනය කළා. සිරිමාවෝ මැතිණිය ඩඩ්ලි සේනානායකට වැඩිය හොඳින් රට පාලනය කළා.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

’’වත්කම’’ ඉල්ලා මන්ත්‍රීලාට සිහිකැඳවීම් ලිපි පහක්
2024 සැප්තැම්බර් මස 16 26 0

මන්ත්‍රීවරුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් වත්කම් බැරකම් ප්‍රකාශ වහාම භා


’’අපට මිත්‍රශීලී රටවල සහය තිබෙනවා’’
2024 සැප්තැම්බර් මස 16 181 0

බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශී


පල්ලෙකැලෙන් රැඳවියෙක් පනී
2024 සැප්තැම්බර් මස 16 123 0

වසර 11 ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.


උ‘ මැ පළාත් සභාවේ වාහන 29ක් අස්ථානගතවෙලා
2024 සැප්තැම්බර් මස 16 139 0

උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර ඇත.


‘උදාගම්මාන යුගය යළි අරඹනවා‘
2024 සැප්තැම්බර් මස 16 286 0

පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ


දියේ ගිලී තරුණයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 16 336 0

අනුරාධපුර විජය පුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිය නැන්දාගේ අවමගුල් උත්සවය සඳහා සහභාගී වීමට, අහංගම ප්‍රදේශයේ සිට පැමිණි තරුණයෙකු, අවමගුල් උත්සවයේ අවසන් ක


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 61 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2119 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 982 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site