(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර  බන්ධනාගාරවලට  මිතුරන් පිරිසක් සමඟ අයුතු ලෙස ඇතුළුවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට  කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී  අද (22) පැවැසීය.

අධිකරණ ඇමැතිවරයා මෙසේ පැවසූවේ යාපනය දිස්ත්‍රික්  මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා  මේ සම්බන්ධයෙන් මතු කළ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තමා මේ සිද්ධිය හෙළා දකින බවත් එය නොවිය යුතු සිද්ධියක් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. එම සිද්ධියේ වින්දිතයන්ට හා ඔවුන්ගේ පවුල් පවුල්වල අය මුහුණ දුන් දුෂ්කරතාව පිළිබඳව තමා කනගාටු වන බවද   ඔහු  කීවේය.

මේ සිද්ධියට දේශපාලන හෝ  ජාතිවාදී අර්ථයක් ලබාදීමට උත්සාහ  නොගත යුතු බව පැවසූ අලි සබ්රි මහතා මෙය එවැනි ආකාරයේ සිද්ධියක් නොවන බවද ප්‍රකාශ කළේය.

මේ සිද්ධිය  සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන පැවැත්වෙන බවත් මානව හිමිකම් කොමිසමද මේ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක්  කරන බවත් ඔහු කීවේය.

මෙහිදී අදහස් දැක්වූ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා  මේ සිද්ධියට සම්බන්ධ  රාජ්‍ය ඇමැතිවරයාට අමාත්‍ය ධූරයක් තවදුරටත් දැරීමට ඉඩකඩ නොදෙන බවට  රජය සහතිකයක් ලබා දෙන්නේ දැයි විමසා සිටියේය.

එසේම ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමට කටයුතු  කරන්නේදැයි  ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා අනුරාධපුර බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් යාපනය හා වව්නියාව බන්ධනාගාරවලට යවමින් මැන්ඩෙලා නීතිය රකින බවටද  සහතිකයක් ලබා දෙන්නේ දැයි  විමසුවේය.