







කුරුණෑගල දම්බොක්ක දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ඇති ඉපැරණි බෝ ගසක් කපා දැමීම නිසා එහි වාසය කළ පක්ෂීන් විශාල ප්‍රමාණයක් එම ස්ථානයේ මිය ගොස් ඇත.
තවත් පක්ෂින් විශාල ප්‍රමාණයක් තුවාල වී තැන තැන වැටී සිටින අතර පක්ෂි කැඳලි සහ බිත්තර විශාල ප්‍රමාණයක්ද විනාශ වි තිබේ.
මෙම සිදුවීම සැළවීමත් සමඟ පරීසරවේදීන් එම ස්ථානයට පැමිණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි.
අද (10) වනජීවී සංරක්ෂණ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තුවාල ලබා සිටි පක්ෂින් පශූ වෛද්‍ය අංශය වෙත යොමු කිරීමට කටයුතු කළේය.
එම අවස්ථාවේදී මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වු වනජීවී සංරක්ෂණ නිලධාරියකු පවසා සිටියේ පක්ෂි කැඳලි සහිත පක්ෂීන් වෙසෙන වෘක්ෂ කැපීමට පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළයුතු වුවත් දුම්රිය දෙපාර්තමේන්තුව එසේ කොට නොමැති බවයි.
එම බෝ වෘක්ෂය කැපීමෙන් මිය ගිය පක්ෂීන්ගේ මළ සිරුරු දුම්රිය මාර්ගය අවට සහ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවට දක්නට ලැබුණු අතර බිත්තර බිදුණු පක්ෂීන් එම කපා දැමු ගසෙහි කඳ මත සිට විලාප නඟන බවත් ඒ අසළින් යන එන පිරිස් පවසති.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊට වගකිව යුතු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
(36698)
COMMENTS
සත්තුන්ගේ වුනත් ඕවා තමා රටට වෙන සාපය... ගහක අත්තක් කපන්නේත් ඉස්සර අපේ ආතා ගහට වැඳලා, ගහෙන් සමාව අරන්... විශාල ගහක් කපන්න කලින් ගසේ ඉන්න සත්තුන්ට පිළිවෙලක් කරන්න ඕන ඔක්කොටම කලින්... පව් අහිංසක අසරණ සත්තු...
දුම්රිය දෙපාර්තමේන්තුව තරම් මේ රටේ වනසතුන්ට විනකරන රාජ්‍ය ආයතනයක් නැති තරම්... මෙච්චර තාක්ෂණය දියුණු යුගයක පවා අලි කීදෙනෙක් සතියකට මැරෙනවද? රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීමේදී බුද්ධි මට්ටම් පරීක්ෂාවට අමතරව හදවතේ සංවේදී බව මැනීම ඉතාමත් අවශ්‍ය කාරණයකි.