(තිළිණි ද සිල්වා)

කිසිදු මූල්‍යමය බරක් නොමැතිව ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය අඛණ්ඩව පහසුකම් සලසන බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අද (08) පැවසීය.

තානාපති කාර්යාලවල ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් ඔවුන් පත්ව සිටින අවදානම් මට්ටම් අනුව ප්‍රමඛතාව ලබා දී “පළමුව පැමිණෙන්නන්ට පළමුව සේවාව සැපයීමේ පදනම” මත ලාංකිකයින් ආපසු ගෙන්වා ගන්නා බවද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා මව්රටට පැමිණීමට නොහැකි ලාංකිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් විදේශ ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටී.

විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කාර්යභාරය නැවත පැමිණෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා පමණක්ම සීමා වී ඇති බවත් කී විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා , ඔවුන් පැමිණීමේ දී පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නොමිලයේ රජයේ පහසුකම් මත නිරෝධායනය ද කරනු ලබන බව ද කීවේය.

විදේශගත ශ්‍රමිකයින් ආරක්ෂිතව නැවත මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අදාළ ගුවන් ගමන් ලබා ගැනීමේ හැකියාව සහ ගුවන් තොටුපොළ බලධාරීන්ගේ අනුමැතිය මත තානාපති කාර්යාලයන් ,විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ එහි නියෝජිතයන් ද සමඟ එක්ව කටයුතු කරන බවද ජයනාත් කොළඹගේ මහතා කියා සිටී.