(යොහාන් භාසුර)

නිරෝධායන ඇඳිනීතිය ඉවත් කිරීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන් පනවන මාර්ගෝපදේශ යටතේ පළාත් සංචරණ සීමා පැවතුණ ද අත්‍යවශ්‍ය සේවකයින් සඳහා දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයින් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

පළාත් අතර සංචරණ සීමා තිබියදී වුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා සේවයට පැමිණෙන ජනතාවට දුම්රිය සේවා සැපයිය හැකි ක්‍රමවේදයක් වාචිකව දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ බව කී කසුන් චාමර මහතා එම ක්‍රමවේදයට අනුව බෙලිඅත්ත, මහනුවර සහ මහව සිට පළාත් ආක්‍රමණය කරමින් දුම්රිය ධාවනය කළ හැකි බව සඳහන් කළේය.  

මහනුවර සිට ධාවන දුම්රිය පළාත් තුනක් ආවරණය කරන බවත් මහනුවර දුම්රිය රඹුක්කනට ද, පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පසුව කෑගල්ලට අයිති කොටසට වෙනම දුම්රියක් ද යොදවන ක්‍රමයක් බවත් ඒම හතා කීය.

පරීක්‍ෂණ ධාවනයක් අදාල වෙන්නේ කැලණිවැලි මාර්ගයට පමණක් නිසා පෙරේදා මෝටට්‍රොලියක් ධාවන කළ බව සඳහන් කළ කසුන් චාමර මහතා සෙසු මාර්ගවල තෙල් දුම්රිය ධාවනය වන ඒවායේ ප්‍රශ්නයක් නොමැති බව පැවසීය.

නිරෝධායන ඇඳිනීතිය ඉවත් කිරීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන් පනවන මාර්ගෝපදේශ සහ සීමා නිෂ්චිත වශයෙන් මේ දක්වා ප්‍රසිද්ධ කරනොමැති වීම නිසා දුම්රිය ධාවනය කරන කාලසටහන් පිළිබඳව කිය නොහැකි බව කසුන් චාමර මහතා වැඩි දුරත් සඳහන් කළේය.