(බන්දුල ඉලේපෙරුම)


මීළඟ පාසල් වාරය ආරම්භ කරන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් අද(18) අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පාසල් අධ්‍යාපනය අඩාල වීම සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාසල් දරුවන් විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති බවත් ඔන්ලයින් ක්‍රමයට ආදී විවිධ තාක්ෂණික ක්‍රමවේදයන්ට මෙම පාසල් ක්‍රියාකාරකම් මේ වනවිට පැවැත්වුවද ඇතැම් දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට මේවා හා සම්බන්ධවීමේ හැකියාවක් නැති බවත් ඩේටා සම්බන්ධ ගැටලු මෙන්ම සිග්නල් නැති ගැටලුද ඔවුන්ට ඇති බවත් ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

එසේම තම රජය සමයේ මෙවැනි තත්ත්වයකදී වැදගත් වන ටැබ් ලබාදීමට උත්සාහ කළද දේශපාලන අවස්ථාවාදීන් නිසා එය සිදුකිරීමට නොහැකිවූ බවද ඒ මහතා කියා සිටියේය.