(ඩයනා උදයංගනී සහ නිපුන් ගරුක)

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තමන් කිරුළු පැළඳූ අවස්ථාවේ එය බලහත්කාරයෙන් ගලවාගත් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි සහ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර සමඟ සාකච්ඡා කර සමථයකට පත්වීමට උත්සාහ කළත් එය අසාර්තකවීම නිසා නීතිමය පියවර ගැනීමට තීරණය කළ බව විවාහක රූ රැජිණ වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසූවාය.

ඔවුන් දෙදෙනා සමඟ සමාදානවීමට පැය හතරක පමණ කාලයක් උත්සාහ කළත් තමාට කළ අපහාසය සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට ඔවුන් අකමැතිවීම නිසා තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය කීවාය.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ල විභාග කිරීමට ඇය සහ සහ කැරොලින්වි ජූරි, චූලා පද්වාමේන්ද්‍ර මහත්මීන් කුරුඳුවත්ත පොලීසියට අද (8) උදෑසන කැඳවා තිබූ අතර පොලිස් ස්ථානයෙන් ආපසු පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය

මොකද අද සිදුවුණේ

පිළිතුර

අපි පැය 4ක් පමණ උත්සාහ කළේ දෙපාර්හවය අතර සමතයකට එන්නයි. මට මේ දේ වැඩිදුර ගෙනියන්න ඕනෙ වුණේ නැහැ. මම වගේම ඔවුනුත් දරුවන් ඉන්න අම්මලා නිසා මට අවශ්‍ය වුණේ මේ ප්‍රශ්නය නවත්වන්නයි. මා අපකීර්තියට පත්කිරීම ගැන මාධ්‍ය සාකච්ඡාවකින් හෝ මගේ නම කියා සමාව ඉල්ලන්නැයි මම ඔවුන්ට කීවා. ඔවුන් එයට කැමති වුණේ නැහැ.

මෙයින් මහ අසාධාරණයක් වෙන නිසා නීතිමය පියවර ගැනීමට මමත් මගේ නීතීඥවරියත් තීරණය කළා.

ඔවුන් මාව වේදිකාවක් උඩ අපහසුතාවයට පත්කළේ ලෝකයක් බලා සිටියදීයිත එයින් මා ‍මානසිකව වැටුණා. ඒ වුණත් මට ඔවුන් දෙදෙනා අපහසුතාවයට පත්කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒත් ඔවුන් එයට අකමැති වුණ නිසා මට කරන්න දෙයක් නැහැ. ඒ ඔවුන්ගේ කර්මය වෙන්න ඇති. මම සැමවිටම හිතන්නේ ඔවුන් ගින්දර නම් මම වතුර කියලයි. හැමෝම කැමති වතුරට මිස ගින්දරට නෙවෙයි. මම ඔවුන්ට හැමදාම සමාව දෙනවා. මට සමාව දෙන්න පුළු්වන්ත නමුත් අමතක කරන්න බැහැ.

ප්‍රශ්නය

කැරොලින් ජූරි මහත්මිය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව කියනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර

ඒ ගැන මම දන්නේ නැහැ. ලෝක රූ රැජිණ සංවිධායකයින් විසින් ගතයුතු තීන්දුවක් තිබෙනවා නම් ගනීවි.

ප්‍රශ්නය

නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ කුමන චෝදනා යටතේද?

පිළිතුර

ඒ ගැන පොලීසියේ සඳහන් කර තිබෙනවා.

(ඡායාරූප ළහිරු හර්ෂණ)