( +++ ඉන්දිකා රාමනායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවසර නොගෙන ස්විට්සර්ලන්තයට පැනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
නිශාන්ත ද සිල්වා මහතා ස්විට්සර්ලන්තයට පලායාමට ප්‍රථම ඔහුගේ නිල නිවස, නිල රථය, ගිනි අවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී නිවාඩු ද අනුමත කරගෙන ඇති බවත් ඒ ගැන පියවරක් නොගත්තේ ඇයිද යන්න හෙළිකර ගැනීම සඳහා මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.
නිශාන්ත ද සිල්වා මහතා, ස්විට්සර්ලන්තයට පලායාම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් මෙන්ම එහි පාලන අංශය, ප්‍රවාහන අංශය ද වගකිවයුතු බව එම උසස් නිලධාරියා කියාසිටියේය.
නිශාන්ත සිල්වා මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනිඅවි සහිත පොලිස් නිලධාරීන් කිහිප දෙනකු යොදවා ඇති බවත් ඔවුන් මේ සම්බන්ධයෙන් නිහඬව සිටීමද ගැටලුවක් බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් විශේෂ විමර්ශන ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, හිටපු සහකාර පොලිස් අධිකාරි තිසේරා, ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, තවත් නිලධාරීන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
COMMENTS
මට නම් මේකත් අර දම්වැලේම පුරුකක් හැටියටයි දැන් පේන්නේ. රන්ජන්ගේ පිස්තෝලේට බලපත්‍ර අරන් නැහැ කියමුකෝ. අනික් 224 දෙනා ගෙන් කී දෙනෙක් බලපත්‍ර අරන් තියෙනවද? කෝ ඒවා ගැන හෙව්වා? නමුත් පළිගන්න ඕන මිනිහ පස්සේ පමණයි එලවන්නේ. නිශාන්ත පරීක්ෂකවරයා හරිද නැද්ද අපි දන්නේ නෑ. නමුත් ඔහු පරීක්ෂා කල බරපතල නඩු වන සිරිලිය, තාජුදීන්, වැලිකඩ ඝාතනය වගේ ඒවා ගැන හිතන කොට පළි ගැනීමේ උවමනාව තමයි හැම සිද්ධියටම මුල් වෙලා තියෙන්නේ කියන එක නොපෙනෙන්නේ කාටද?
පළිගන්නේ නෑ කියලා කිව්වට මේ දේවල් දකිද්දී එහෙම කරනවා කියලානේ පේන්නේ. යහපාලනය අන්ත ආණ්ඩුවක් මේක බලන් ගියහම.
විමර්ශනය කරලා එයාව ලංකාවට එවන්න කියලා ස්විස් රටට " ඕඩර් "කරන්නද...? මිනිස්සු හිනස්සන වැඩ නොකර ඉන්න.