(බිඟුන් මේනක ගමගේ)
පාර්ලිමේන්තුවේ විදුලි උත්පාදනයට දිය මත පාවෙන සූර්යය පැනල භාවිතා කිරීමට සකස් කළ සැලසුමක් අත්හැර දැමීමට සිදු වී යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති නීතිඥ අජිත් පී.පෙරේරා මහතා පැවැසීය.
නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය මූලික වී කරන ලද යෝජනාවක් අනුව මෙම සැලසුම සකස් කර තිබූ අතර මේ සම්බන්ධයෙන් අජිත් පී.පෙර්රා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ හා නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් ද සහිතව අවස්ථා ගණනාවකදී සාකච්ඡා පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගෘහ නිර්මාණ සැලසුම්කරණය අනුව මෙම සූර්යය පැනල සැලසුම භාවිතා කළ නොහැකි බව කියමින් නාගරික සංවර්ධන අධිකාරිය ඊට විරුද්ධ වීම නිසා මෙසේ එය අත්හැර දමන්නට සිදු වී යැයි අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා කීය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී නවීකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අබේගුණවර්ධන මහතා පැවසුවේ මෙම ප්‍රතික්ෂේප කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවය.
මසකට පාර්ලිමේන්තුවේ විදුලි බිල්පත රුපියල් ලක්ෂ හැට ඉක්මවන්නේ යැයි කී හෙතෙම දියවන්නා ඔය භාවිත කරගෙන මෙම සූර්ය පැනල පිහිටුවීමෙන් එහි විශාල වශයෙන් පහළ දැමීමට හැකි යැයි අවධාරණය කළේය.
නාගරික සංවර්ධන අධිකාරිය මෙම සැලසුමට එරෙහිවීම අත්තනෝමතික තීරණ ගැනීමක් යැයි ද මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට කරුණු දැනුම් දෙන්නේ යැයි ද විද්‍යා අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
දියවන්න ඔයේ තියෙන නඩත්තුවට වැයවෙන මුදල් අවංකවම අඩු කරගන්න ඕනෙම නම් ඕනෑ තරම් ක්‍රම තියෙනවා. උදාහරණ වශයෙන් විදුලි සෝපාන භාවිතා නොකර පඩිපෙළ භාවිතය, ඒ සි යන්ත්‍ර නවතා දැමීම, සහනදායි මුදලට ලබා දෙන අධි පෝෂදායි ආහාර නවතා දැමීම වැනි ක්‍රමවලින් අති විශාල මුදල් සම්බාරයක් ඉතුරු කරගන්න පුළුවන්.
මේ සුර්ය විදුලිය කියන්නේ ලොකු බොරුවක්.පාර්ලිමන්ට් එකේ තියෙන ශීතකරණවත් ක්‍රියාත්මක කරන්ට බැහැ ඔය විදුලියෙන්. අනිවාර්යෙන් බැටරි පැක් එකක් තියෙන්ට ඕනේ. බැටරි වලට යන වියදම අධික මුදලක්. මේවගෙන් කොමිස් කාක්කන්ට ලොකු කුට්ටි ලේබෙන්නේ. කරන්ට ඕනේ මුළු පාර්ලිමන්ට් එකේම වියදම අඩු කරන එක.ඒකට ඔය 225 කෙමති වෙන්නේ නෙහෙ.
ඊට වඩා හොඳ නැද්ද රවීන්ද්‍ර පාර්ලිමේන්තුව වහලා දාලා මැදමුලන මහගෙදර සහෝදර සමාගම රැස් වෙලා රට ගැන තීන්දු තීරණ ගන්න කියලා බාර දුන්නොත්. පහුගිය කාලේ අරලිය ගහ මන්දිරේ දන්සැල් වලටයි කොටුවේ ජනාධිපති මන්දිරේ නඩත්තු කරන්නයි මාසෙකට කීයක් වැය වුනාද කියලා ඔයාලට දැන් අමතකයි. සමහර දේශප්‍රේමී ඇමතිවරුන්ගේ නිල නිවාස වලත් එක මාසෙකට ලක්ෂ හත ගණනේ විදුලි බිල් ගෙව්වා.
ඔය පාර්ලිමේන්තුව ඉදිකරන කාලෙදිත් සමහරු කිවා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිලා බසිනවා කියා . ඕකත් ඒ වගේ බොරු කතාවක් වෙන්න පුලුවන. ඒනිසා මේ සඳහා අවශ්‍ය නම් විදෙස් උපදෙස් ලබාගන්න.