(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ  මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් වාර අවසාන කරනු ලැබ ඇත.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ( 12) මධ්‍යම රාත්‍රියේ  නිකුත් කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

මේ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට යළි ආරම්භ කළ යුතු බව අදාළ ගැසට්  නිවේදනයේ සඳහන් වේ. වාර අවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීමකි.  එහෙත් කතානායක වරයා එම ධුරයේ දිගටම කටයුතු කරනු ඇත.

නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභාව නැවත පත්කළ යුතු අතර උසස් නිළ තල පිළිබඳ කාරක සභාව වාර අවසාන කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මකය. වාර අවසාන කිරීම අවසන් වී නැවත නව සැසිවාරය  ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන්  විවෘත කරනු ලැබිය යුතුය.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභාවල කටයුතු ඉබේම අක්‍රීය වනු ඇත.

නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ එම කාරක සභා නැවත පත්කළ යුතු වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.