
(ආනන්ද ඉ ජයකොඩි)
දේපල ලියා දෙන ලෙසට බලකරමින් සිය පියාට පහරදී බරපතල තුවාල සිදු කොට ඇති බව කියන සැකකාර පුතෙකු මේ මස 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඊයේ (01) පස්වරුවේ නියෝග කළාය.
පින්නගොල්ල උතුර පදිංචි ගයාන් නිරෝෂන් නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.
සිය පියාට පහරදී බරපතල තුවාල සිදු කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගෙන තිබිණ.
නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී ඩබ්ලිව් ඇල් රවීන්ද්‍ර මහතා කරුණු දක්වමින් පියා සතුව පවතින දේපල ලියා දෙන ලෙසට තර්ජනය කරමින් සැකකරු ඉතා අමානුෂික ලෙස ඔහුට පහරදී තුවාල සිදු කොට ඇති බව කියා සිටියේය.
පියා දැනට රෝහල් ගත කොට සිටින බවත් මෙයට පෙරද සැකකරු පියා සමග දේපල වෙනුවෙන් ගැටුම් ඇති කර ගෙන ඇති බවත් ඒ සඳහා අධිකරණයේ නඩුවක් පවතින බවත් එම සිද්ධියට මොහු ඇප මත සිටින බවද ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා කීය.
නැවත කැඳවීම මේ මස 15 වනදාට කල් තැබිණ.
නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ඕ පී අබේරත්න මහතාගේ උපදෙස් පරිදි එහි නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී ඩබ්ලිව් ඇල් රවීන්ද්‍ර හා එහි පොලිස් කොස්තාපල් එච් ආර් ඇස් කුමාර යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.
COMMENTS