(සුජිත් හේවාජුලිගේ )

රටපුරා ගෙවතු වගා සංග්‍රාමයක් ලබන පෙබරවාරි මාසයේදී  අරඹන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම වැඩපිළිවෙල මුදල් අමාත්‍යාංශයේ  උපදෙස් සහ විශේෂ ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ  සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

ගෙවතු වගාව සඳහා පර්චස් 20 ට අඩු ගෙවත්තකට රුපියල් 5000ක්ද පර්චස් 20 ට වැඩි අක්කරයකට අඩු ගෙවත්තකට රුපියල් 10,000ක්ද  ලබාදීමට රජය පසුගියදා තීරණය කළේය.

මේ අතර එළවලු මිල  තවත් සති කිහිපයකින් පමණ අඩු වනු ඇතැයි පැවසූ ආචාර්ය අජන්ත ද සිල්වා මහතා රජය බෙදා දුන් ඇට වර්ග පැළවීමෙන් ලැබෙන අස්වැන්නද ඉදිරි කාලයේදී  වෙළෙඳපොළට පැමිණෙනු ඇතැයි  විශ්වාසය පළ කළේය.

ගෙවතු වගා සඳහා රජය දැනටමත් ලබා දී ඇති ඇට ප්‍රමාණය  මිලියන 2.5 කි.

එළවළු මිල ඉහළ යෑමට එක දිගට බල පැවැත්වුණු දේශගුණික තත්වයද  හේතුවූ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත්  කීවේය.