
ලෙබනනයේ බීරූට් අගනුවර, නගර මධ්‍යයේ ඊයේ (4) සිදු වූ දැවැන්ත පිපිරීමෙන් 78 දෙනකු මියගොස් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.
බීරූට් අගනුවර, බීරූට් වරායේ පිහිටි ගබඩාවක මෙම පිපිරුම සිදුව තිබෙන අතර එම ගබඩාව තුළ පුපුරණ ද්‍රව්‍ය තිබූ බව දැනට අනාවරණය වී තිබෙන අතර ඒ තුළ සහ ඒ ආසන්නයේ රසායනික ද්‍රව්‍ය තිබී ඇතැයි ද ඇතැම් වාර්තාවල දැක්විණි.
නගර මධ්‍යයේ සිදු වූ මෙම පිපිරුමෙන් කිලෝමීටර ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලිවල ජනේල, වීදුරු පවා බිඳී ගොස් ඇති අතර ඇතැම් ගොඩනැගිලිවල සඳලුතල (බැල්කනි) පවා කඩා වැටී ඇතැයි මෙම සිදුවීම් මාලාව ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
පිපිරීමෙන් සිදුවූ මරණ ගණන සහ තුවාල ලැබූවන්ගේ ගණන මීට වඩා ඉහළ යා හැකි බවත් සහන සේවකයන් සහ මුදා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර සිර වී සිටින පිරිස් බේරාගනිමින් සිටින බවත් ලෙබනන බලධාරීහු කීහ.
වසර ගණනාවකට පසු ලෙබනන අගනුවර සිදු වූ දැවැන්තම පිපිරීම මෙය වන අතර මේ හේතුවෙන් ලෙබනන ආර්ථිකයට සහ සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි පැවසේ.
ලෙබනනය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන රටක් වන අතර නව කොරෝනා වයිරස වසංගතයෙන් පීඩා විඳියි. පසුගිය කාලයේදී ද ලෙබනයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබිණි.
පොහොර සහ බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750කට ආසන්න ප්‍රමාණයක් එම ගබඩාවේ තිබී ඇතැයි ලෙබනන ජනාධිපති මිචෙල් ඔවුන් පැවැසීය. “වසර හයකට ආසන්න කාලයක් එම පුපුරණ ද්‍රව්‍ය එම ගබඩාවේ තිබී ඇතැයි ද, එය පිළිගත නොහැකි” යැයි ද හෙතෙම කීය.
ලෙබනන ජනාධිපතිවරයා අද (5) හදිසි කැබිනට් හමුවක් ද කැඳවා තිබූ අතර සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු යැයි ද ඔහු කීවේය.
“අපිට දකින්න තියෙන්නේ මහා විනාශයක්” යැයි ලෙබනන රතු කුරුස සංවිධානයේ ප්‍රධානී ජෝර්ජ් කෙටානි ‘මයාඩීන්’ පුවත් සේවයට පැවැසීය. “හැමතැනම මළසිරුරු, හැමතැනම තුවාලකරුවන්” ඔහු කීය.
මෙම පිපිරුම සිදුවූයේ ලෙබනන වේලාවෙන් පස්වරු 6ට පමණය. පිපිරුමෙන් පසු වරාය දිස්ත්‍රික්කයේ විශාල ගින්නක් ද ඇති වූ අතර රාත්‍රී අහස තැඹිලි පැහැයක් ගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. හෙලිකොප්ටර් යානා පැමිණෙමින් ජලය ඉසිමින් ගින්න පාලනය කිරීමට උත්සාහ ගන්නා අයුරු ද නගරය ද සෑම තැනම ගිලන් රථ ගමන් කරන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් ද පිරී තිබූ රෝහල්වල පිපිරුමෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් පහසු නැති බව ද වාර්තා විය. බීරූට් නුවර පිහිටි රෝහල්වල ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් නගරයෙන් පිටත රෝහල්වලට තුවාලකරුවන් රැගෙන ගිය බව ද ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
රොයිටර්
055

2025 දෙසැම්බර් මස 18
514
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිපිරීමෙන් මිය ගිය ගණන 78 දක්වා ඉහළට