(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන ආයතනවල ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට (කෝප්) ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.

මේ අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් ලබන 3වැනිදාද පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධානීන් ලබන 4 වැනිදාද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධානීන් ලබන 6 වැනිදාද කෝප් කමිටුව හමුවට කැදවෙනු ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැස්වීම් 13ක් ලබන මස පළමු සතියේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය .

එමෙන්ම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවද රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) හමුවේ ලබන මස 03 වැනිදා විමර්ශනයට ලක් කිරීමට නියමිතය .

අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 3වැනිදාද සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එදිනමද රැස්විමට නියමිතය.

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 4 වැනිදා පැවැත්වේ.

පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 5 වැනිදාද පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩිදුරටත් කීය .