IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොඩි ලැසීගේ කුඩු ජාවාරමට සිම් කාඩ් 55 ක්

(*** නිමන්ති රණසිංහ)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින “පොඩි ලැසී” ගේ හෙරොයින් ජාවාරම ඩුබායි රාජ්‍යයේ සිටින උදාර සම්පත් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා විසින් සිම්කාඩ්පත් 55ක් යොදාගනිමින් මෙහෙයවනු ලැබ ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (14) කරුණු වාර්තා කරමින් පැවසීය.

එම සිම්කාඩ්පත් 55 ලබාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින විහඟ ප්‍රභාත් නමැත්තා විසින් බවත්, එම සිම්කාඩ්පත් හා සම්බන්ධ වෙමින් මොවුන් දකුණු පළාත තුළ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇත්තේ ඉතාමත් සූක්ෂම ආකාරයෙන් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකාර පතිරහැන්නදිගේ විහඟ ප්‍රභාත් නමැත්තා  සිම්කාඩ්පත් 55 ලබාගෙන ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ ‘කොමියුනිකේෂන්’ ආයතනයකින් බවත්, ප්‍රදේශවාසීන්ගේ ජාතික හැඳුනුම්පත් ලබා ගනිමින් එම ආයතනය මෙලෙස සිම්කාඩ්පත් ලබාදීම සිදුකර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළේය.

ඒ අනුව මෙහි 14 වන සැකකාර උද‌ාර සම්පත් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ (14) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
සිද්ධියට අදාළ සැකකාර නාකොටික් නිලධාරින් 13 දෙනා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා ඇති බවත්, කොවිඩ් වයිරසය හේතුවෙන් සෞඛ්‍ය හේතු මත සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවත් බන්ධනාගාරය වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරන පොලිස් නිලධාරීන් පස් දෙනකු සහ සිවිල් පුද්ගලයන් පස් දෙනකු ඇතුළු සැකකරුවන් 23 දෙනකු සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියේ 14 වන සැකකරු ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබ සිටින්නේ දැනට ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන උදාර සම්පත් නමැත්තාය. මෙම සැකකරු “පොඩි ලැසී” නමැත්තාගේ ඥාති සොහොයුරකු ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා, පොලිස් සැරයන් කරුණානායක, උපපොලිස් පරීක්ෂක උපාලි යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඕනෑම පුද්ගලයකුට ජාතික හැඳුනුම්පතක් නොමැතිව අදාළ කොමියුනිකේෂන් ආයතනයට ගොස් සිම්කාඩ්පතක් ලබා ගත හැකි බවත් විමර්ශනයට අදාළව එම ස්ථානයට ගිය රහස් පොලිස් නිලධාරින්ට ද මෙම ආයතනයේ හිමිකරු සිම්කාඩ්පත් 10ක් ලබා දී ඇති බවත් අධිකරණයේ දී කරුණු හෙළි විය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම ආයතනයට යම් යම් කාර්යයන් සිදුකර ගැනීමට පැමිණෙන ප්‍රදේශවාසීන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත් ලබාගෙන ඇති මෙම ආයතනයේ හිමිකරු ඒවා සිය පරිගණකයේ ගබඩාකර අදාළ සිම්කාඩ්පත් ලබාදී ඇති බවත් විමර්ශන කණ්ඩායමට අනාවරණය වී ඇති පරිදි ඔහු සතුව එවැනි ජාතික හැඳුනුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් ඇති බවත් අධිකරණයේ දී කරුණු හෙළි විය.

“පොඩි ලැසී” නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් ලබාදෙන මත්ද්‍රව්‍ය කලාප අනුව වර්ග කර විවිධ වර්ණ යොදාගනිමින් අලෙවි කළ ආකාරයටම මෙම සිම්කාඩ්පත් ද යොදා ගනිමින් සංවිධානාත්මකව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවත්, එම සිම්වලට දුරකතන ඇමතුම් ලබාදෙන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින උදාර සම්පත් නමැත්තාත් විහඟ ප්‍රභාත් නමැත්තාත් පමණක් බවට ද මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියේ 14වැනි සැකකරු වන කලුදොර උදාර සම්පත් නමැත්තා ඉකුත් 2018 වර්ෂයේ ජුනි මස 29 වැනිදා ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ මල්වැන්න උතුර තෙල්වත්ත පදිංචි ආඩම්බරගේ අෂාන් අල්විස් යන නමින් බව ද  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

උදාර සම්පත් නමැත්තා රැකියාවක් ලබාදෙන බව පවසා ඔහුගෙන් ජාතික හැඳුනුම්පතේ සහ උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගෙන ඒවායෙන් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරගෙන ඇති බවට ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරන විහඟ ප්‍රභාත් නමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් රුපියල් තුන් ලක්ෂ විසි හතර දහසක මුදල නඩුවේ ගිණුමට බැර කරන ලෙසට නියෝගක් ලබාදෙන්නැයි මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව අධිකරණය අදාළ නියෝගය ලබා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගරගත කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධවෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ආධාර අනුබල දීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරීම හා සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සිද්ධියේදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක විමලසේන ලයනල්, උපපොලිස් පරීක්ෂක සීක්කුවාවසම් ගයාන් තරංග ප්‍රේමරත්න සිල්වා, උපපොලිස් පරීක්ෂක දහනායක රාළලාගේ අතුල ජයන්ත බණ්ඩාර, පොලිස් සැරයන් (15819) මුතුබණ්ඩාගේ චමින්ද ලක්ෂ්මන් ජයතිලක, පොලිස් සැරයන් (20637) ජයසිංහගේ සමන් කුමාර ජයසිංහ, පොලිස් සැරයන් (61756) වතුකාරගේ චමිල ප්‍රසාද් වතුකාර, පොලිස් කොස්තාපල් (69351) විජේසිංහ මුදියන්සේලාගේ ප්‍රියන්කර ජයසේන, පොලිස් කොස්තාපල් (73684) බටුවත්තගේ රුවන් පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (74811) රතුගමගේ අසංක ඉන්ද්‍රජිත් රතුගමගේ, පොලිස් කොස්තාපල් (84346) චිත්‍රආචාරිගේ සමීර ප්‍රදීප් කුමාර, පොලිස් කොස්තාපල් (85372) වන්නිආරච්චිගේ ලක්ෂාන් සමීර වන්නිආරච්චි සහ පොලිස් කොස්තාපල් (87226) හේරත් මුදියන්සේලාගේ ලලිත් ජයසිංහ, සුබසිංහ ආරච්චිගේ දිනේෂ් නිර්මල යන පිරිස ය.

 



අදහස් (1)

පොඩි ලැසීගේ කුඩු ජාවාරමට සිම් කාඩ් 55 ක්

නෙවිල් Tuesday, 15 September 2020 10:02 AM

පත්තරේ බැලුවොත් සංවිධානාත්මක අපරාධකරුවන්, මීනීමරු අලි ඇතුන්, දූෂිත දේශපාළුවන්, හොර ජාවාරම් ආරක්ෂක නිලධාරින්, අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්, අතිකාල හොරකරන දොස්තරවරුන්, හොරට බේත්දෙන දොස්තරවරියන්, ගංජා ප්‍රවාහනය කරන්නන්,... අප්පා අපට ගැලවිල්ලක් නෑ, දෙයියනේ !.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site