(ඩයනා උදයංගනී සහ ෂම්මින් පණ්ඩිතරත්න) 
ප්‍රවීණ ගායිකාවක වන, ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජෙනරාල්වරිය ලෙස පසුගියදා පත්කෙරුණු විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය මිලානෝහි දී අද (17) අභාවප්‍රාප්ත වූවාය.
හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇත.
නීලා වික්‍රමසිංහ මහත්මිය මියයන විට 71 වැනි වියෙහි පසුවූවාය.
ඇය මිලානෝ නුවර නව කොන්සල් ජෙනරාල්වරිය ලෙස වැඩ භාරගත්තේ මීට දින කිහිපයකට ඉහතදීය.
‘පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ’, ‘සිලිං බිලිං’, ‘බලා හිඳිමි දුර ඈතක’, ‘චාමර සැලුණාවේ’, ‘වියෝ ගී ගැයෙනා හදේ’, ‘හිරුට අයිති බව’, ‘ඔබගෙ සෙවණේ රැඳෙන සහනේ’, ‘දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ’, ‘දරුවෝ ඇති අම්මාලා’, ‘බෝධියේ විහාරයේ’, ‘පෙම් සිළිලාරේ’, ‘පාරමී දම් පුරමු අපි දෙදෙනා’ ආදී ගීත විශාල සංඛ්‍යාවක් ඇය විසින් ගායනා කර ඇත.
කොළඹ විශාඛා විද්‍යාලයේ සහ බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ  සංගීත ආචාර්යවරියක ලෙස ද ඇය සේවය කළාය.