(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බස් නැවතුම්පොළේදී, වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැතිව, මහජනතාවට පීඩාකාරී වන අයුරින් නොනවත්වා අධික ශබ්දයක් නැගෙන සේ නළාව නාද කරමින් සිටි පෞද්ගලික බස් රථ රියදුරෙකු, බස් නැවතුම්පොළ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා අද (05) අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියේ රථ වාහන අංශයට බාර දී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් සහ එහි රියදුරු බව පොලිසිය පවසයි.
බස් රථය බස් නැවතුම්පොළට ඇතුළුකර මහජනයාට පීඩාකාරි ලෙස අධික ශබ්ද නගා නොනවත්වාම නළාව නාද කරමින් සිටියදි බස් නැවම්පොළේ පොලිස් නිලධාරියා ගොස් ඔහුගෙන් රියදුරු බලපත්‍රය ඉල්ලුවිට ඔහු පවසා ඇත්තේ බස් රථය මාර්ගයේ පසෙකට අයින්කර රියදුරු බලපත්‍රය දෙන බවය.
ඒ අනුව බස් රථය අයින්කරන තුරු බලා සිටියත් එය නොදී නොනවත්වාම නළාව නාද කරමින් සිටීම හේතුවන්, රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. පසුව පරීක්ෂා කිරීමේදි අනාවරණය වී ඇත්තේ ඔහුට බස් ධාවනය කිරීමට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති බවය. ඒ අනුව රියැදුරුව රථ වාහන අංශයට බාරදී ඇත.රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකු පැවසුවේ රියදුරුට ඇත්තේ සැහැල්ලු වාහන ධාවනය කිරීමේ බලපත්‍රයක් පමණක් බවය. එනිසා ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පවරන බවද පොලිස් නිලධාරියා පැවසීය.
ගාල්ල බස් නැවතුම්පොළ පොලිස් මුරපොළේ ස්ථානාධිපති සැරයන් විමල් ජයසේකර(10412) මහතා සහ සැරයන් කල්‍යාණි මහත්මිය බස් රථය සහ රියදුරා අත්අඩංගුවට ගත්හ.
COMMENTS
නියමයි... ස්තුතියි..
ඉන්දියානු ලොරි, චැසි බස් වල තිබෙන නළා හඬ නම් ඉතාම කනට හානිකර තත්වයක් තමයි. ශබ්ද දූෂණය යටතේ මේවට නඩු පැවරිය හැකි වුවත්, ලංකාවේ ඒ නීතිය ඒතරම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එය නීතියේ වරදක් නොව නිලධාරීන්ට ඒ ගැන ප්‍රායෝගික විද්‍යාත්මක දැනීමක් නොමැතිවීම බව පෙනේ. ජපන් වාහන නලා මෙන් නොව මේ ඉන්දියානු බස් නලා අලි පැන්නීම සඳහා නම්, යෝග්‍ය බව පෙනේ..
පොලිස් මුරපොළේ නිලධාරීන්ට ත්‍යාගයක් දීලා ඇගයීමක් කරන්න ඕනෑ.. මෙම පනත බලාත්මක කළාට...මේ වගේ හැම නිලධාරියෙක්ම වැඩ කරන්න කරුණා කරලා... මහජනතාවට පීඩාකාරී වන අයුරින් නොනවත්වා අධික ශබ්දයක් නැගෙන සේ නලාව නාද කිරීම බොහෝ තැන්වල නොසලකා හරිනවා..
පෞද්ගලික බස්රථ සඳහා මාසිකව බලපත්‍ර අළුත්කිරීමේ ක්‍රමයක් පවතිනවා කියා දැනගන්නට තියෙනවා. එසේම බස් රථවලද රියදුරුගේ මෙන්ම කොන්දොස්තරගේ බලපත්‍ර පිළිබඳව විස්තර ප්‍රදර්ශනය කළයුතු බවක් අසන්නට ලැබෙනවා. පුද්ගලික බස් පළාත්සභා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අධීක්ෂණය කරනවා කියලත් ආරංචියි. රියදුරු බලපත්‍ර නොමැති රියදුරන් සිටියි නම් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් අධීක්ෂණය කරන්නේ මොනවද?
වාහන අනතුරු සිදුවන්නේ මෙවැනි ක්‍රියා නිසයි.