(නිමන්ති රණසිංහ)

කොරෝනා වසංතය හේතුවෙන් නැවැතී ඇති දහම් පාසල් අධ්‍යාපනය, ‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද  සිට ආරම්භ කළ බව දහම් පාසල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරෙැගොඩ මහතා පවසයි.

කොරෝනා වයිරසය හේතුවෙන් වසර ගණනාවක් පාසල් අධ්‍යාපනය මෙන්ම දහම් පාසල් අධ්‍යාපනය නිසියාකාරව නොලැබීමෙන් නිවෙස් තුළට වී සිටින දරුවන්ගේ මානසික සුවය ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඔන්ලයින් හෙවත් මාර්ග ගත ක‍්‍රමය ඔස්සේ ‘‘සූම්’’ තාක්ෂණයෙන් අද පෙරවරු 8.30 සිට 9.30 දක්වා කාලය මේ සදහා වෙන් කර ඇති අතර ‘මයින්ඞ් ස්ටූඩියෝ’ (චින්තාගාරය) නමින් මෙම දහම් අධ්‍යාපනය ලබාදීම ආරම්භ කළ බවද හෙතෙම කියයි.

මෙම චිත්තාගාරය සෑම ඉරුදිනකම මෙන්ම ලබන පෝය දින සිට සෑම පෝය දිනකම පැයක කාලයක් දරුවන් සහ දෙමාපියන් සමග සම්බන්ධ වී පවත්වාගෙන යෑමට සැලසුම්කර ඇති බවද ඔහු පැවසීය.