
(*** නාලක සංජීව දහනායක)
දිවයිනපුරා පිහිටි වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (9) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරන්නැයිද ඔහු සඳහන් කළේය.
ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (9) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කර සිටියේ සිවිල් ආරක්‍ෂක බළකායේ සහය ලබා ගනිමින් පුරාණ තාක්‍ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් වැව් පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බවය.
මින් පෙරත් ක්‍රියාත්මක වූ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය විද්වතුන්ගේ හා ජනතාවගේ බලවත් දෝෂ දර්ශනයට ලක්වූ බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පැවැසීය.
වැව් හාරා ගැඹුරු කළත් ජලය රඳවා ගැනීමේ පුරාණ තාක්‍ෂණය සහ විද්‍යාත්මක ක්‍රම භාවිත නොකිරීම වැනි අඩුපාඩු මගහරිමින් පොදු නිර්ණායකයක් යටතේ ඒ ඒ ප්‍රදේශවලට සහ වැව්වලට ආවේණික ක්‍රමයට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
වැව් ප්‍රතිසංස්කරණය, වැව් ආශ්‍රිත කර්මාන්ත ආරක්‍ෂාවන අයුරින් කළ යුතු බව කී ජනාධිපතිවරයා අනුබද්ධ ආයතන සහ ගොවි සංවිධාන සමග එකඟතාවයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ද පැවැසීය.
එමෙන්ම රක්‍ෂිත තුළ ඇති කුඩා වැව් 500ක් වන සතුන්ගේ ප්‍රයෝජනය පිණිස කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව පැවැසූ ජනාධිපතිවරයා ඒ සඳහා වාරිමාර්ග, වනජීවී හා වගා සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව වසරක වැඩසටහනක් ක්‍රියාත්මක කළයුතු බව ද සඳහන් කළේය.
කුඹුරු වගාව සඳහා පමණක් නොව පානීය ජල සම්පාදනය හා සෙසු වාරි අවශ්‍යතා සපුරාලීමට ද වැව් ජලය භාවිත කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන්කර සිටියේ වැව් ගොඩවීමෙන් එහි ධාරිතාව අඩුවී තිබෙන බවය.
ඉවුරු කැඩී ගිය වැව් විශාල සංඛ්‍යාවක් ඇති බව කී බැසිල් රාජපක්‍ෂ මහතා මහ කන්නය ඉලක්ක කර ගනිමින් ඒවා කඩිනමින් පිළිසකර කළ යුතු බව ද සඳහන් කළේය.
නව කෘෂි තාක්‍ෂණය හඳුන්වාදෙමින් තරුණ ව්‍යවසායකයන් 500ක් කාබනික කෘෂිකර්මයට යොමු කිරීම පිණිස සැලසුම් කළ තරුණ ගොවි සෞභාග්‍ය, කාබනික ගොවිපළ වැඩසටහන පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මාදුරුඔය දකුණු ඉවුරේ අක්කර 500ක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම්කර ඇති අතර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනයට එහිදී එකඟතාව පළ කෙරිණි.
එමෙන්ම මෙරට සියලුම වාරිමාර්ග පද්ධති හා ගංගා ආශ්‍රිත සියලු වන රක්‍ෂිත මාස හයක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
වගා ජල සම්පාදනය සහ පානීය ජල සම්පාදනය අරමුණුකර ගනිමින් සැලසුම්කර ඇති උතුරු මැද මහ ඇළ සහ වයඹ ඇළ ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.
උතුරු මැද මහ ඇළ හා වයඹ ඇළ ව්‍යාපෘති මගින් එම පළාත්වල ග්‍රාමීය වැව් 1500ක් ආශ්‍රිතව දෙකන්නයේදීම හෙක්ටයාර 80,000ක් වගා කිරීමට අපේක්‍ෂිතය.
එමෙන්ම වාරිමාර්ග ක්ෂේත්‍රයේ දිගු කලක සිට පවතින ඉංජිනේරු සහ කාර්මික නිලධාරී ශ්‍රේණිවල පුරප්පාඩු නොපමාව පිරවීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී අවධානයට ලක්විය.
අමාත්‍ය චමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහත්වරු ද අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් හිටපු ජනාධිපතිලා පරාදයි...
හැමදේම රටින් ගේන එකේ වැව් හදලා මොනවා කරන්නද? ඒවත් ගොඩකරලා හෝටල් හැදුවා නම් ඉවරයිනේ...
බොහොම හොඳ ප්‍රශංසා කළයුතු ක්‍රියාවක්. මාතර, හක්මන, ගංගොඩගම ප්‍රදේශයේ පෞරාණික වැවක් වන "උයන් වැව" නිසා ප්‍රදේශයේ ගොවිතැන් කටයුතුවලට කෙරෙනා සේවය සුළුපටු නොවේ. දෙටුතිස් රජතුමන් විසින් සාදා නිමකොට ඇති යයි පැවසෙන මේ වර්තමානයේ රොන්මඩ ආදිය පිරී තිබීම නිසා වැවෙහි ජල ධාරිතාවය අඩුවී යයි. මේ රොන්මඩ නිසා වැවේ ගිලී මියගිය ජීවිතද ඇත. මේ වැව මඩ ඉවත්කොට ප්‍රතිසංස්කරණය කොට දෙන්නේ නම්, මැනැවි. ස්තූතියි...!!!
කෙරුණොත් ඔන්න හොඳ වැඩක්...
දැන් වැව් බැම්ම හදන්න උපදෙස් දෙන්න අපට රජෙක් වගේ නායකයෙක් ඉන්නවා. බෝක්කු පිළිබඳ කැබිනට් ඇමැතිටත් මේවා හොඳ පාඩම්. ආඩම්බරයි සර්...
ඉතාමත්ම හොඳ තීරණයක්.. වැඩේ "නිසිලෙස" සිදු වේද යන්න පිළිබඳව පසු විපරමක් තිබුණොත් වඩාත් සුදුසු නොවේද?
කල් පසුවීමෙන් හෝ මෙවන් තීරණයක් ගැනීම ඉතාමත් හොඳයි. රජරට පළාතේ බොහෝමයක් වැව්වල විශාල ලෙස රොන්මඩ තැන්පත් වීම නිසා ඒවායේ ධාරිතාවය ඉතාම අවම වෙලා. මහ වැහි දෙක තුනකින් මේ වැව් පිරෙනවා වගේම මාසයක් දෙකක් පෑව්වාම හිඳෙනවා. ජනප්‍රවාදයට අනුව කලාවැව් පතුලෙහි කළුගල් ස්ථරයක් අතුරා තිබෙන බව කියැවෙනවා. නමුත් වර්තමානයෙහි එහි සලකුණක්වත් දකින්නට ලැබෙන්නේ නෑ. එ් තරමටම රොන් මඩ තැන්පත් වෙලා. කෘෂිකර්මාන්තය දියුණු නොකර අපේ රට සංවර්ධනය කරන්න බෑ. විශිෂ්ට තීරණයක්...
අමාත්‍යාංශ ඔක්කොම වහලා දාලා ජනාධිපතිතුමාටම රට පාලනය කරන්න බැරි වෙයිද? මොකද ඔක්කොම දේවල්වලට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නල දීලා කරවන්න ඕනේ... ජනාධිපතිවරයාම නම් අමාත්‍යාංශ නඩත්තු කරන එක බොරු වියදමක් විතරයිනේ....