(ඩයනා උදයංගනී)

දියේ ගිලීම් හේතුවෙන් සෑම වසරකම මෙරට 800 දෙනකු පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ජාතික අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණ වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසීය.

එසේ මිය යන අයගෙන් බහුතරය වයස අවුරුදු 21 ත් 60 ත් අතර පසුවන අය බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේදී ලෝක දියේ ගිලීමේ වැළැක්වීමේ දිනය ලෙස හෙට (25) දිනය ප්‍රකාශයට පත්කර ඇත.

දියේ ගිලීමෙන් වසරකට ලොව පුරා 2,20,000 කට වැඩි පිරිසක් මිය යන අතර ඉන් තුනෙන් එකක්ම වාර්තා වන්නේ දකුණු ආසියානු රටවලිනි.

දියේ ගිලීමෙන් පසු ජීවිතය බේරා ගත්තත් දිගුකාලීන ආබාධ ඇතිවිය හැකි බව ද වෛද්‍ය සමිත සිරිතුංග මහතා කීවේය.

එබැවින් දියේ ගිලීම්වලින් ආරක්ෂාවීම සඳහා ජනතාව දැනුවත් කිරීම, අනාරක්ෂිත ජල මූලාශ්‍ර ආරක්ෂා සහිත කිරීම, පිහිනුම් කුසලතා වැඩිදියුණු කිරීම, දියේ ගිලෙන අය ගලවාගැනීමේ පුහුණුව ලබාදීම ආදී ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බව ද ඔහු පැවසීය.