(ඩයනා උදයංගනී)

දියවන්නා ඔයෙහි රාජගිරිය බුත්ගමුව පාලම අසල ප්‍රදේශයේ දක්නට ලැබුණු තෙල් තට්ටුවට හේතුව බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ඇළෙහි ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් ඇල්ගී/ බැක්ටීරියා වර්ධනය වීම බව ඒ පිළිබඳ සෙවීමට පත්කළ කණ්ඩායම සිය වාර්තාවෙහි සඳහන් කර ඇත.

දියවන්නා ඔයෙහි තෙල් තට්ටුවක් පාවෙමින් ඇති බව දක්නට ඡායාරූප කිහිපයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පසුගියදා ලැබී තිබූ අතර වහාම කණ්ඩායමක් යොදවා ඒ සම්බන්ධව සොයාබලා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දී තිබිණි.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරින් යොදවා මේ සම්බන්ධ විමර්ශණයක් සිදු කළ අතර එහි වාර්තාව අද අමාත්‍යවරයා වෙත භාර දී ඇත.

එම කණ්ඩායම් අදාළ ස්ථානවලින් ජල සාම්පල් ගෙන පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ මෙම ස්ථානවල ජලය කළුපැහැගැන්වී තිබු බවත්, ජලය මත තැනින් තැන කුඩා හා තුනී තෙල් තට්ටුවක් පවතින බවත්ය.

එමෙන්ම එම ස්ථානයේ තෙල් සහිත අපද්‍රව්‍ය පල්වීම නිසා දුර්ගන්ධයක් හටගෙන ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

කාලයක් තිස්සේ බුත්ගමුව ඇළට බැහැර වූ අපද්‍රව්‍ය නිසා ජලයේ සුපෝෂණ තත්ත්වයක් ද වර්ධනය විය හැකි බැවින් එම ප්‍රදේශයේ ජලය සංරක්ෂණය කිරීම සඳහා නිර්දෙශ තුනක් විමර්ශණ කණ්ඩායම දැනුම් දී ඇත.

ඒ අතර අවජ ජනතාව විසින් දියවන්නාව වෙත අපවිත්‍ර ජලය බැහැර කිරීම වැළැක්වීම, බුත්ගමුව ඇළ පතුළේ රොන්මඩ වසරකට වරක්වත් ඉවත් කර ජලය පහසුවෙන් බැස යාමට සැළැස්වීම, තෙල් සංස්ථාව මගින් බැහැර කරන අප ජලය මෙම ජල මාර්ගය වෙත බැහැර කරන්නේ ද සොයා බැලීම කළ යුතු බව ඔවුන් දක්වා තිබේ.

එමෙන්ම රසායනාගාර විශ්ලේෂණ වාර්තාව අනුව ලබාගත් ජල සාම්පලවල රසායනික ඔක්සිජන් ඉල්ලුම හා අචිලතාවය, ඇමෝනියා, පොස්පේට් ප්‍රමාණය මෙන්ම තෙල් හා ග්‍රීස් ප්‍රමාණය තිබිය යුතු ප්‍රමාණය ඉක්මවා ගොස් ඇතැයි ද එම වාර්තාවෙහි දැක්වේ.