(නිමන්ති රණසිංහ)

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තාට අයත් ‘සේප්පු’වක තිබී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් ඉඩමක ඔප්පුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අද (16) සොයාගනු ලැබ ඇත.

සැකකරුට අයත් පර්චස් 22ක මෙම ඉඩම දෙමටගොඩ වේලුවනරාම පාරේ පිහිටි නාන තටාකාංගනයක් සහිත වූවක් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අධිකරණ නියෝග ප්‍රකාරව මෙම ඉඩම විකිනිමට හෝ අන්සතු කිරීමට නොහැකි බව සදහන් අත්හිටුවීමේ නියෝගයක් ද එම සැකකාර පාර්ශ්වයට අද (16) ලබාදුන් බව ද එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති ඩී ඩබ්ලිව් තිලකරත්න මහතාගේ උපදෙස් පරිදි එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරති.