(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර  ලබාගැනිමට පැමිණෙන සියලු දෙනා කොවිඩ්  මර්දන එන්නත ලබාගත් බවට තහවුරු කෙරෙන එන්නත්  කාඩ්පත  රැගෙන එන ලෙස  එහි අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා දැනුම් දෙයි.

සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය  මිගාර ඈපා මහතා  ලංකාදීපයට පැවැසීය.

එන්නත් කාඩ් පත ළඟ  තිබීම ප්‍රතිකාර කටයුතු වලදී එය රෝගීන්ටද  විශේෂ  පහසුවක් වනු ඇතැයි  පවසන  නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රතිකාර කටයුතු ඉක්මන් කර ගැනීමටද  එය   පිටුබලයක් වනු ඇතැයි   සඳහන් කළේය.

රට විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයිද   මිගාර ඈපා මහතා පැවසුවේය.

රෝගීන්  දහසකට ආසන්න සංඛ්‍යාවක් දන්ත රෝහලට  දිනපතා පැමිණෙන බව රෝහල් ආරංචි  මාර්ග සඳහන් කරයි.

කොවිඩ්  වසංගත තත්වය නිසා රට වසා දැමීමත්  සමග සමහර රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුද  කල් ගියේය.