(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවී යළි නිවස කරා පැමිණෙමින් සිටි එකම පවුලේ  අට දෙනකුගෙන් යුත් පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී  මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ  කිලෝමීටර් 29 දොඩංගොඩ  ප්‍රදේශයේදී සිමෙන්ති පටවාගත් ලොරියක ගැටී සිදුවූ අනතුරකින්  පියා මියගොස් කුඩා දරු තිදෙනකු ඇතුළු සිව් දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය කියයි .

අනතුරින් මියගොස් ඇත්තේ අක්මීමන කපුගේ වල ගමගේ  වත්ත  පදිංචිව සිටි උනන් පිටිය ගමගේ රත්නසේන 67 යන අයයි .

තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පිරිස අතර වෛද්‍ය උපාධිය ලද 29 හැවිරිදි තරුණියක් , මෝටර් රථය පැදවූ ඇයගේ  සහෝදරයාගේ  වයස අවුරුදු හත  ,හතර හා එකහමාර අතර පසුවන  දරු තිදෙනෙක් වන බව පොලිසිය කියයි 

මෝටර් රථය පැදවූ  පුද්ගලයාට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිසිය කියයි .

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ  මියගිය අයගේ පුතා වන  දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ රියදුරෙකු ලෙස කටයුතු කරන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  ඊයේ (24) පැවති වෛද්‍ය උපාධි ප්‍රදානෝත්සවයට  සහභාගි වී  යළි අක්මීමන නිවස කරා අධිවේගී මාර්ගය ඔස්සේ මෝටර් රථයෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.