(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරියාය අත්තික්කාඩු ප්‍රදේශයේ කුඹුරු යායකට යාබද  කැලයේ තිබී අනුරාධපුර යුගයට අයත්  ආරාම සංකීර්ණයක නටබුන් හමු වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

යුද ගැටුම් හේතුවෙන් අතහැර දැමු  කුඹුරු ඉඩම් එළි පෙහෙළි කරද්දි මෙම නටබුන්  හමු වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ මූලික විමර්ශනයකින්  අනාවරණය වී තිබේ.

බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එළි පෙහෙළි කරද්දී එහි පුරාවිද්‍යා නටබුන්වලට හානි සිදුවී ඇති බව ස්ථානීය පරීක්ෂණයක්  කළ දිස්ත්‍රික් පුරාවිද්‍යා  නිලධාරි  මොහාන් සමීර  ආරියතිලක මහතා පැවසීය.

නටබුන් අතර ගල්කණු, කොරවක් ගල්, සඳකඩ පහණක් හමු වී ඇත.

 සිද්ධිය  සම්බන්ධයෙන්  සොයා බැලීමට  ගිය ත්‍රිකුණාමලය දිසාපති  ජේ.එස්.ඩී.එම්.අසංක අබේවර්ධන මහතා අදාළ ස්ථානය වෙන් කර සලකුණු කිරීමට පුරාවිද්‍යා  නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පෞද්ගලික  හෝ රජයේ  ඉඩමක් වුවද, ඔප්පු තිබුණද,  පුරා විද්‍යා වස්තු ඇති තැනක් නම් ඒ ස්ථානයේ අයිතිය ඇත්තේ පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවට බවද, බලපත්‍ර සහිත ඉඩම්වල වගාකිරීමට  මේ ස්ථානය වෙන්කර සලකුණු කිරීමෙන්  පසුව  අවසර ලබාදෙන බවද දිසාපතිවරයා  කුඹුරු ඉඩම් හිමියන්ට ක්ෂේත්‍ර පරීක්ෂාවේදී පැවසීය.