(සුජිත් හේවාජුලිගේ )

ඩෙල්ටා සහ  ඔමික්‍රෝන්  වයිරස ප්‍රභේද එකට මුසුවීමෙන් නිර්මාණය වූ "ඩෙල්ටාක්‍රෝන්" යනුවෙන් හැඳින්වෙන නව සැර කොරෝනා  වයිරස ප්‍රභේදයක්   ලෝකයේ විවිධ රටවලින් සොයා ගෙන ඇති හෙයින්  ශ්‍රී ලංකාවද ඒ  පිළිබඳව විශේෂ අවධානයකින්  පසුවිය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

නව සැර කොරෝනා වයිරස  ප්‍රභේද මෙරටින් ඉදිරියටත් හමුවිය හැකි බවත් මේ වයිරසවලින්  ගැලවීමට ඇති එකම මාර්ගය  එන්නත්කරණය බවත්  හෙතෙම සඳහන් කළේය.

නව වයිරස  ප්‍රභේද මෙරටට පැමිණීම සම්පූර්ණයෙන්ම වැළැක්විය නොහැකි බව පැවසූ දීපාල් පෙරේරා මහතා   කළ හැක්කේ එවැනි වයිරස පැමිණීම ප්‍රමාද කිරීම පමණක් බවද පැවසුවේය.

වයස 12 ට වැඩි පුද්ගලයන්  පළමු එන්නත් මාත්‍රාවද  වයස 20 ට වැඩි පුද්ගලයන් බූස්ටර්  එන්නතද කඩිනමින් ලබා ගැනීම වැදගත් බවත් මරණ අඩුවීම, සංකූලතා අඩුවීම සහ    රෝහල් ගතවීමේ අවශ්‍යතා අඩුවීම  එන්නත්කරණයේ  ප්‍රතිඵල බවත්  විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

"ඩෙල්ටාක්‍රෝන්" සැර කොරෝනා වයිරස ප්‍රභේදය  සයිප්‍රසය  ඇතුළු රටවල් කිහිපයකින් දැනට හමුවී ඇත. සයිප්‍රසයෙන් පමණක් දැනට හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 25කි. 

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ සහ ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ  ජාන සමාන මට්ටමින් සංයෝජනයවීමෙන් මෙම නව ප්‍රභේදය නිර්මාණය වන බව පර්යේෂකයෝ සඳහන් කරති.

මෙරට තවමත් ප්‍රබලව පැතිරෙන කොරෝනා ප්‍රභේදය වන්නේ ඩෙල්ටාය. මෙයට අමතරව ඔමික්‍රොන්  ආසාදිතයෝ  පිරිසක්ද මෙරට විවිධ ප්‍රදේශවලින්  පසුගියදිනවල  සොයා ගනු ලැබූහ.