( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට. තම නායකත්වයෙන් යුතු "අපේ ජන බල පක්ෂයේ " අපේක්ෂකයන් ඉදිරිපත් කල නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සදහා ජූනි මස 09 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය.
මෙම රිට් පෙත්සම එල් . ටී. බී දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ කැඳවූ අතර එහිදී පෙත්සම මෙදින කැඳවීමට තීරණය විය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම සදහා අපේ ජන බල පක්ෂයේ නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී බව පවසමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනු කළහ
මැතිවරණ කොමිසම එහි සභාපති මහින්ද දේශප්‍රිය ,එහි සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ නලීන් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම විභාග කර තීන්දුවක් දෙන තෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මගින් ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් ඇතුළු අපේ ජන බල පක්ෂයේ අපේක්ෂකයන් ගේ නම් ඇතුලත් නාම යෝජනා පත මාර්තු මස 19වැනිදා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත ලබා දුන් බව පෙත්සමෙහි සදහන් වේ.
එහෙත් එම නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා කටයුතු කළ අතර එම නාම යෝජනා පත්‍ර සමග ලබා දුන් දිව්රුම් පෙත්සමක දෝෂයක් නිසා නාම යෝජනා පත ප්‍රතික්ෂේප කල බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
එහෙත් එවැනි හේතුවක් මත නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීවරයා ට බලයක් නැති බවට පෙත්සම මගින් පෙන්වා දී ඇත.
එබැවින් එම නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ද නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.
COMMENTS
උන්නාන්සේ තවම ඉන්නවද? බැලුවේ මොකද සද්දයක් නැත්තේ කියලා..
ඔව්, උන්වහන්සේ තවම යහතින් ඉන්නවා. මේ ලඟදී පැරිස් නගරයේ ඉන්නවා දැක්කයි කියා මගේ යාලුවෙක් මට කීවා. නමුත් හරි දිනය නම් මට මතක නැත. කෝවිඩ් 19 එක නිසා කටුනායක ගුවන් තොටුපොල lock down කරන්න ඉස්සර උන්වහන්සේ ආපසු ගමරට බලා වැඩම කරන්න ඇති.... සිය නඩුවේ වැඩකටයුතු එකලස් කිරීම සඳහා...