
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ පැවැසීය.
නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස් මහතා, 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ සංචාරයන් හා ශ්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකය අවධි කළේය.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාව පිළිබඳවත් ගුටරේස් මහතා විසින් මෙහිදී සිහිපත් කරනු ලැබිණ. වසර 30කට ආසන්න කාලයක් පැවති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව මහලේකම්වරයා සඳහන් කරනු ලැබිණ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවන වරටත් මහලේකම් ධූරයට පත්වීම පිළිබඳව සිය සුභාශීංසන ඔහු වෙත පිරිනැමීය.
කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.
මේ වන විට සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරිමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයි සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.
එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මෙහිදී මහලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් විය.
අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිතුමා මහලේකම්වරයා සමග පැවසීය.
ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයින් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවත් මහලේකම්වරයා සමග පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිතුමා පැවසීය. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන ආකාරය ද රාජපක්ෂ මහතා විසින් පැහැදිළි කරනු ලැබීය.



COMMENTS
මහ ලේකම් තුමාගේ මුහුණේ කිසිම ප්‍රියමනාප බවක් නොපෙනේ .ඒ ඇයි ?අපේ එක්කෙනා හැම විටම පිළිගන්නේ අපේම අය නේද ?මට විතරද ටිකක් හිතට ඒ ගැන කුතුහලයක් දැනෙන්නේ
මීට වඩා සිරිසේනට පිළිගැනීමක් තිබ්බා.. මෙයා එහෙ පෙට්‍රල් ශෙඩ් එකේ වැඩකරපු එක හැමෝම දන්නවනේ...
මොනවා කියාවිදැයි සැකයි...
ලංකාවට ගිය කලක්... කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැහැ. මොනවා වුණත් ගමරාළට හොඳ පිළිගැනීමක් තිබ්බානේ...
අනේ මටනම් එයාගේ කිසිම ප්‍රියමනාප පෙනුමක් නෑ. එතුමා ඔය ගියේ එතුමගේ ගමනේ... ගෙදරත් එහෙමයි. මේ රට වෙනුවෙන් එතුමාට කළ හැකි ලොකුම සේවය ගමට වෙලාම ඉන්න එක. මොකද ගතවූ කාලෙදී කරපු සේවය හොඳටම ඇති. අපිට දරාගන්න බැ ඒ සේවය...
ලොක්කා ගියා ගම රටට තරකර... වියදම් මලු තදට දාලා .. හොඳ පදමට තද කරගන්නම් අපි පටි තදට...
එතුමා එතුමගේ මව්රටට ගිහිල්ලා ආවාම කාටවත් ඇති රුදාව කුමක්ද?
මේ වෙද්දී ලංකාවට අත්වෙලා තියන ඉරණම ගැන මහලේකම් තුමා දන්නවද දන්නේ නැහැ? අපි නම් කියන්නේ මේ රට මාෆියා මංකොල්ලකාරයින් රැලක් අතට පත්වී හමාරයි. පාලකයින්ට උදව් කිරීමෙන් රටේ ජනතාවට කිසිම ඵලක් නැහැ. හැකිනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධිත රටවලට පැමිණීමට ජනතාවට වීසා පහසුකම් ලබා දෙන්න. එතකොට මේ හොර නඩය හා ඔවුන්ට ගැතිකම් කරන අම්බරුවන් පමණක් රටේ ඉතුරු වී අනෙක් සියලු දෙනාම පිටරටවල පදිංචියට යනවා සිකුරුයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු එතුමාට ආරංචි වෙලා නැහැ වගේ තවම..?
ගුටරෙස් මහලේකම් තුමාට නම් අනුරාධපුර ආදී අපේ ජාතික මුදුන්මල් කඩවල් හරහා සංචාරය තාමත් මතක ඇති. ඒත් අපේ ජනාධිපතිතුමාට නම් රුවන්වැලි සෑ රජුන් අභියස කළ දිවුරුම් දීම පවා මතකත් නැති බව දැන් මුළු රටම දන්නා කාරණයක්. රටේ නීතිය හා යුක්ති ධර්මය පමණක් නොව, පරිසරයට පවා ලැබෙන කණකොක් හඬ - වත්මන් විනාශය නොදන්නෙක් අද රටේ නැත. එතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" කාටත් පැහැදිලියි. මෙදා UNHRC පොහොට්ටු රජයට එරෙහි නවතම චෝදනා ගොනුකළ විට, සමස්ථ ජනතාවම එකහඬට පිළිගන්නවා නියතයි.. හොඳයි බලමු...!
කියන්නට දේ බොහෝය .නොලියමි .නොරටුන් ඉදිරියේ ගාගෙන ඇති මඩ හොඳටම ඇති .පිළිකුලකි ඇත්තේ
ඇමරිකාවේ අපේ අය කරපු උද්ගෝෂණය ගැන හරියට දැනගත්තම මහලේකම් තුමාට තරු පෙනෙයි .