(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද දහවල් පැවැති  සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ට සහ ආසන සංවිධායකවරුනට ආණ්ඩුවේ  ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් සිදුවන අසාධාරණකම්  පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි ද මහ ලේකම්වරයා කීය.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා ඡන්ද ක්‍රමය සංශෝධන කිරීම , ගුරු වැටුප් විෂමතා, පොහොර ගැටළුව ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව පැවැසීය.

මෙම සාකච්ඡා වෙනුවෙන් පැයක කාලයක් වෙන් කර තිබුණ ද සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවැත්විණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර දුමින්ද දිසානායක යන මහත්වරුන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සහභාගී වූ අතර ජනාධිපති සමග ජනාපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහභාගී විය.