(ඩයනා උදයංගනී)

පෘතුගාලයේ පැවති 32 වන ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියෙන් ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් හිමිවිය.

එම පදක්කම දිනාගනු ලැබුවේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සුමදු සේනාධීර ශිෂ්‍යාව විසිනි.

32 වන ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලිය කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් 2021 ජූලි 18 සිට 23 දක්වා කාලයේදී පෘතුගාලයේ සිට මාර්ගගත විභාගයක් ලෙස පැවැති අතර එයට රටවල් 70ක සිසුහු සහභාගී වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ තරඟකරුවන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික විභාග ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී 2021 ජූලි 19 සහ 21 දිනවල පැවැත්විණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර මෙම තරඟය සඳහා කෑගල්ල, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සුමදු සේනාධීර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මෙත්මා විජේසිංහ, කොළඹ ආනන්ද විද්‍යාලයේ පමෝද පෙරේරා, (මහනුවර) පුෂ්පාදාන බාලිකා විද්‍යාලය රුචිනි නිවර්තනා යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සුදුසුකම් ලැබ තිබිණි.

පසුගිය වසරේ සැප්තැම්බරයේ උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටි සිසු සිසුවියන් අතර පැවැත්වූ විභාගයකින් මෙම සිවුදෙනා තෝරාගත් බව ශ්‍රී ලංකාවේ ජීව විද්‍යා ආයතනය පවසයි.

මෙම තරඟයේ ජූරි සභිකයින් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර, මහාචාර්ය නිශංක ද සිල්වා සහ මහාචාර්ය එම්. ජේ. එස්. විජයරත්න යන මහත්වරු කටයුතු කළහ. තරඟය සඳහා සිසුන් පුහුණු කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ සහ කැලණියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු මෙම තරගය සඳහා සිසුන් පුහුණු කළහ.

රටවල් 70 ක සිසුහු මෙම තරඟයට සහභාගී වූහ.