(සුජිත් හේවාජුලිගේ)

කොළඹ නාගරික සීමාවෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල  25ක  සාම්පල 14ක් සැකකටයුතු බව ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මේ සාම්පල දාහතරේම  ජාන විකෘතිතා සහිත ප්‍රභේද පවතින බවට එම කණ්ඩායම් සැක පළ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම සැක සැකකටයුතු සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් මෙම  පරීක්ෂණවල අවසන් වාර්තාව  ඉදිරි සතියේදී  ලබා දෙනු ඇති බවත්  හේමන්ත හේරත් මහතා පැවසුවේය.

මේ අතර මෙම තොරතුරු ලැබීමෙන් පසු එම ජෛව පටල සාම්පල  අයත් පුද්ගලයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන්  විවිධ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

එසේම එම පුද්ගලයන් පදිංචි ප්‍රදේශ සම්බන්ධයෙන්ද පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇතැයි  දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප කොළඹ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ පරීක්ෂණ කණ්ඩායම්  කොළඹ නගරයේ මෙවැනි සැකකටයුතු සාම්පල පිළිබඳව පසුගිය දිනවල  දැනුම්දීම් ගණනාවක් කර ඇති බවයි.

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ  පුද්ගලයන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වනවිට සොයාගෙන  ඇත. සොයාගනු ලැබූ එම පිරිසෙන් වැඩි දෙනෙක්  කොළඹ නාගරික සීමාවේ පදිංචිකරුවෝ වෙති.