
(ඩයනා උදයංගනී)
කොවිඩ් එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට යෝජනාවක් ඉදිරිපත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.
එමගින් දවසේ වැඩි කාල පරාසයක් තුළ එම රෝහල්වලින් එන්නත් ලබාගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව ද පාදෙණිය මහතා කීවේය.
අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව පැවසුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ අදහස් දක්වමිනි. ලබන මස මුල සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාවට සයිනෝෆාම්, සයිනෝවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් ලැබීමට නියමිතව ඇතැයි ද මෙහිදී සඳහන් විය.
එම එන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සැකසීම අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී පැවසුවේ කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ප්‍රසාදය පළ වී ඇති බවයි.
එන්නත් මිලදී ගැනීමේ විනිවිදභාවය සහ ක්‍රමවත්බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසදීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින බව ලෝක බැංකුව හඳුනාගෙන ඇතැයි ද ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
ඒ සඳහා ලබාදෙන පිළිගැනීමක් ලෙස එන්නත් මිලදී ගැනීමේ දී ලෝක බැංකු වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වන බව ප්‍රසන්න ගුණසේන මහතා කීවේය.
අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, නාමල්රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීන්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
පාදෙණිය මහත්තයා කෝවිඩ් මර්දන කමිටුවේ ප්‍රධාන තනතුරක් දරනවා. රටේ කෝවිඩ් ප්‍රශ්නය වැඩිවෙනකොට එයාගේ ගෝලයින් මාධ්‍යය ඉස්සරහට ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ටයි, රාජිත සේනාරත්නටයි ඇඟිල්ල දික්කරනවා... GMOA එක කරන මේ ප්‍රෝඩාව මොකක්ද?
එන්නත් මිලදී ගැනීමේ ක්‍රමවත් භාවය සහ විධිමත් භාවය අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි. අනේ මෙහෙමත් බොරු...ඇස්ට්‍රා සෙනෙකා 1 මාත්‍රාව ගහලා 2 ගහන්න බඩු නෑ. තවම රටේ ජනතාවගෙන් 10%ක් විතර ඉන්නවා එන්නත් කරගන්න බැරිවෙලා...රට ලොක් ඩවුන්...
හොඳ ප්‍රායෝගික අදහසක්... කොහොම හරි වැඩි ප්‍රතිශතයකට එන්නත් දීගන්න ඕනෑ...
වැක්සීන් රෝහල් කිව්වේ පුද්ගලික රෝහල්වලටද? ගොනා හැරෙනකොට අපි දන්නවා මොකටද කියලා.