(නිමල කොඩිතුවක්කු)

හමුදා සාමාජිකයන් තුන්දහසක් පමණ මරා දැමූ  බවට ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු වන කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුව ඇතැයි  දෙමල ප්‍රගතිශීලී සන්ධානයේ නායක  මනෝ ගනේෂන් මහතා කොළඹදී පැවසීය.
 
මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති ඇතුලු ආණ්ඩුවේ ප්‍රධානීන් වහාම රට හමුවේ සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයිද  මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
 
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ  අද(22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව  පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දෙමල ප්‍රගතිශීලී සන්ධානයේ නායක  මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.
       
“අපේ රටේ  ජාතික ප්‍රශ්නයක් තිබෙනවා. ඒක පදනම් කරගෙන සන්නද්ධ අරගලයක් සිදුවුණා. ඒ නිසා වසර  30ක යුද්ධයකට මුහුන දෙන්න සිදුවුණා. සන්නද්ධ ක්‍රියා අමතක කරලා  සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එක්ක රට එකතු කරලා  ශ්‍රී ලාංකිකයන් ලෙස  එක ගමනක් යන්න  සමගි ජනබලවේගය විදියට අපි කටයුතු  කරනවා.  තමන් කොටි සංවිධානය තුළ සිටින  අවස්තාවේදි හමුදා සෙබලුන් 3000ක් මරා දැම්මා කියලා කරුණා අම්මානා  දැන් ආඩම්බර වෙනවා.  මෙයා වෙනම  කණ්ඩායමකින් තරඟ කලත් එයා  ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියෙක්. එයා රාජපක්ෂලාගේ ලෙෆ්ටිනන් කෙනෙක්.
 
මේ අය තමන්  කරපු ඝාතන ගැන ආඩම්බර වෙනවනම් මේක  කොතනින්ද කෙලවර වෙන්නේ. මේ විදියට ශ්‍රී ලංකාව හදන්න පුලුවන්ද. මේ ප්‍රකාශ සිදුකිරීම් වහාම නවත්වන්න කියලා ගෝඨාභය රාජපක්ෂ,  මහින්ද රාජපක්ෂ ඇතුලු ආන්ඩුවේ ප්‍රධානීන්ට අපි කියනවා.කරුණා කියනවා කියලා ලිස්සලා යන්න  බැහැ. කරුණා කියන්නේ  ඔබලාගේ මිනිහෙක්.  ඔහු ආණ්ඩුවත් එක්ක ඉන්න නිසා ආණණ්ඩුව මේ  ප්‍රකාශයේ වගකීම ගන්න ඕන. වහාම මේ ගැන ආණ්ඩුවේ ප්‍රධානින් උත්තරයක් ලබාදිය යුතුයි.  ගොඨාභය මහත්තයා මහින්ද මහත්තයා මේකට දෙන උත්තරය අපි බලාගෙන ඉන්නවා.
 
මේක මේ රටේ දෙමළ ජනතාවගේ මතය නෙමෙයි. අද වනවිට දෙමළ ජනතාව මේ සන්නද්ධ අරගලය අමතක කරලා එකම රටක් විදියට හිතලා ඉස්සරහට යනවා.  වැරදිලා හරි අපේ පැත්තේ කෙනෙක්ගෙන් මොනවහරි කියවුනානම් රට ගිනි තියලා. අපේ ආණ්ඩුව කාලේ අපි රට එකතු කළා. මේ වගේ අයත් එක්ක ආණ්ඩු කරන්න පොහොට්ටුවට අද ලැජ්ජ නැති වෙලා තියෙනවා.

එක්සත් ජාතික පක්ෂය අද පාලු ගෙයක් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දෙමළ ජනතාවගෙන් විශාල පිළිගැනීමක් තිබුනා. දැන් ඒ පිළිගැනීම සම්පූර්ණයෙන්ම එතුමන්ට අහිමි වෙලා තියෙනවා.  සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ එතුමාට තිබුණු විශ්වාසය දැන් සජිත් ප්‍රේමදාස මහතාට  ඇතිවෙමින් තිබෙනවා.මගේ පක්ෂයෙන්  මම අවුරුදු ගානකට කලින් එලියට දාපු කණ්ඩායමක් සිරකොත මන්දිරයට කැඳවලා  වඩාගෙන මල්මාලා දාලා  ඡායාරූප ගෙන  මාධ්‍යවල පළකලා. අපේ පක්ෂයෙන් එලියට දාපු අයට අධිකරණයේ නඩුවක් තියෙනවා. මේ කරන වැඩ ගැන අපි ලැජ්ජා වෙනවා.

මේ  අය  එක්කන් ගියේ රවී කරුනානායක මහතායි. පුලුවන්නම් උතුරු කොළඹ ආසනය  දිනලා පෙන්වන්න කියලා අපි රවී  කරුණානායකට අභියෝග කරනවා.  සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපි උතුරු කොළඹ ආසනය උඩින්ම දිනනවා' යැයිද ඔහු කීය.