බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

කෝටිපති ව්‍යාපාරිකයකු බෙදා දීමට රැගෙන ආ රුපියල්  දහසේ මුදල් ආධාර ලබා ගැනීමට ගොස්  මියගිය කාන්තාවන් තිදෙනාම මියගොස් ඇත්තේ තෙරපීම නිසා ශ්වසන පද්ධතිය සිර වීමෙන් බව අධිකරණ වෛද්‍ය  නිලධාරී රාවුල් හක් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තීරණය ලබා දුන් බව මාලිගාවත්ත පොලිසිය කියයි .

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මියගේ නියෝග මත මරණ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරය තුලදී ය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළසිරුර  ඥාතීන්ට භාර දෙන ලෙසත් එම මළසිරුරු මාලිගාවත්ත  මුස්ලිම්  සුසාන භූමියේ මිහිදන් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (21) නියෝග ලබා දුන් බව මාලිගාවත්ත පොලිසිය වැඩිදුරටත් පැවසීය .

මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර උදය කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි .