(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලුම් පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලබා දිය නොහැකි බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මේ බව දැනුම් දුන්නේ මේ සිද්ධිය පිළිබඳ ගොනු කර ඇති රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ කැඳවිණි.
මෙම දැනුම් දීමෙන් පසු අධිකරණය ඇමතු සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ මෙය ජාතික වැදගත්කමින් යුත් ගැටලුවක් බැවින් මේ පිළිබඳ රස පරීක්ෂක වාර්තා ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් කරුණු සහිත වාර්තාවක් අධිකරණයට ලබා දිය යුතු බවත් කීය.
ඉන්පසු ඒ පිළිබඳ පෙත්සම්කාර පාර්ශ්වය ප‍්‍රති උත්තර ලබා දිය යුතු බවත් ඒ පිළිබඳ නියෝගය දෙසැම්බර් 13 වැනිදා ප‍්‍රකාශ කරන බවද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
ඒ අනුව මෙම රිට් පෙත්සම දෙසැම්බර් 13 වැනි දින යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි.
මෙම සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලුම් දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශ වලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන එදින දින දක්වා දීර්ඝ කිරීමට නියෝග කෙරිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි.ජීව විද්‍යා උපාධිධරයෙකි.
සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට‍්‍රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය.මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.
මෙම විදේස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.
මෙවැනි ක‍්‍රියාවන් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.
එබැවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද ජාතික පරිසර පනතෙහි විධි විධනා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසල ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද මෙවැනි විදෙස් කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සම්කාර පරිසර සංවිධානය වෙනුවෙන් නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.
නීතීපති වෙනුවෙන් රජයේ නීතීඥ චාරුක ඒකනායක මහතා පෙනී සිටියේය.
COMMENTS
පිටරට කුණු මේ රටට ගේන්න තරම් කාලකන්නි මේ රටේ හිටියද?
ඔය වාර්ථාව දෙන්න බැරිනම් දෙයියනේ ඕකට ඔච්චර කල් මැරුවේ ඇයි...? දැන් කුණු ටික පොළවට පස්වෙලත් ඇති. මේ යාන්ත්‍රණය ගැන ඔය මහත්වරුන්ට ලැජ්ජාවක් නැතිද?
ඇයි දෙවියනේ! මේක මාර රටක්නේ. කන්ටේනර්වල අඩංගු දේවල්වල රස පරීක්ෂණය කරන්න මිනිහට බැහැයිලු. (ඉස්සෙල්ලම මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තිය හැකියාව සොයා බැලිය යුතුයි. සමහරවිට අට පාස් දේශපාලුවෙකුගේ නෑදෑයෙක් වෙන්න පුළුවනි.) රස පරීක්ෂකට බැරිනම් එළවලා දමලා රජයේ ආයතනයකට එහෙමත් නැතිනම් කැලණිය විශ්ව විද්‍යාලයේ ජිව රසායන අංශයට කියලා මේ අපද්‍රව්‍ය වල තියෙන මිනිස් සිරුරට අහිතකර ජිව රසායන හඳුනාගන්න බැරි ඇයි ? ඒ වගේම රස පරීක්ෂකට විරුද්ධව නඩු පැවරිය යුතුයි. ඔහු ඔහුගේ රැකියාව පැහැර හැරියා. ඒ සඳහා චුදිත ආනයනිකකරුවෝ ඔහුට අල්ලස් දුන්නා කියා චෝදනා එල්ල කරන්න පුළුවනි.
මොකද්ද දන්නවද වෙන්නෙ ? ඔය කුණු ටික ඔතනම පස් වෙනකම් නඩු අහනවා. ඔන්න ඔහොමයි අපේ රට. වෙන රටක් නම් හැරෙන තැපෑලෙන්ම යවලා.
වාර්තාවක් දෙන්න බැරි හේතුව මොකද්ද ? ආනයනකරුවා දේශපාලන බලවතෙකුගේ කවුරු හරිද ? මේක පුදුම හතර බීරි කතාවක්නේ.
මෙම සායනික අපද්‍රව්‍ය සහිත පිටරට කුණු කසළ ප්‍රශ්නය කෙලින්ම සොයා බැලිය යුත්තේ ජනපති යටතේ ඇති පරිසර අමාත්‍යාංශය මගින්ය. ඇයි මේ තරම් විශාල විපතක් රටට වෙලත් ක්ෂණිකව සොයා නොබලන්නේ?
එතකොට රස පරීක්ෂක ඉන්නෙ මොකටද?