(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ ඉබ්‍රාහිම් පවුලට අයත් තඹ කම්හල, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන මෙරට තඹ කර්මාන්තයට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මේ වන විට රාජසන්තක කර ඇති මෙම කම්හල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගැනීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ වැල්ලම්පිටියේ පිහිටි එම තඹ කම්හල් පරිශ්‍රයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට සම්බන්ධ වූ ඉබ්‍රාහිම් පවුලට අයත් දේපලක් වන මෙය ඉකුත් මැයි මස 20 වැනිදා රාජසන්තක කෙරුණු අතර එය දැනට රහස් පොලිසිය භාරයේයි පවතින බව ද ඇමතිවරයා කීවේය.

එම තඹ කර්මාන්ත ශාලාවෙහි ඇති තඹ ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමට භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර දිරාපත් වීමට ඉඩ නොදී රටට ප්‍රයෝජනයක් ගත යුතු බව කී අමාත්‍යවරයා ඉදිරියේ දී එය මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට හැකි වනු ඇතැයි ද සඳහන් කළේය.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සිදුකළේ ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට බව ද විමල් වීරවංශ මහතා කීවේය.