(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඇමෙරිකා එක්සත් ජනපද සහශ්ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බැවින් එම ප‍්‍රදානය ලබා ගැනීමට අදාළ වන ගිවිසුම ක‍්‍රියාත්මක නොකරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
අදාළ ප‍්‍රදාන ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී ඇතැයි මාධ්‍ය මඟින් වාර්තා කර ඇති ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් අද (31) සිය මතය දක්වමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ බව සඳහන් කර සිටියි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
‘‘ ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා එක්සත් ජනපද සහශ්ර අභියෝග ආයතනය විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480 ක මුදලක් ප‍්‍රදානය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැති ලබා දීමේ පුවත පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇත.
මෙම ප‍්‍රදානය වෙනුවෙන් දෙරට අතර අත්සන් කෙරුණු ගිවිසුමේ පිටපත නිරීක්ෂණයේදී ශ්‍රී ලංකාවට අහිතකර වගන්ති රාශියක් ඇති බව පෙනී යයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය වගකිව යුතු වෘත්තීය සංවිධානයක් හැටියට මෙම ගිවිසුම ගැඹුරින් අධ්‍යනය කර විස්තර වාර්තාවක් සකස් කර ඇති අතර ඒ පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාවත් දැනුම්වත් කරනු ලැබ ඇත.ඒ පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයා විසින් තම සංගමයට සිය ස්තූතිය පළ කරමින් ලිපියක්ද එවා ඇත.
රටක් මෙවැනි ගිවිසුමකට එළැඹීමට ප‍්‍රථම ඒ පිළිබඳ ජනතා අදහස් විමසා ඒ ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සාකච්ඡා සහ මත විමසීම් සිදුවිය යුතු බව අප සංගමයේ විශ්වාසයයි.එහෙත් , පුවත්පත් වාර්තා මඟින් හෙළිදරව් වනුයේ එවැනි කටයුත්තක් සිදු නොවූ බවය.
ජනතාව දැනුම්වත් නොකර මෙවැනි ගිවිසුම් වලට විවිධ රජයන් අත්සන් කිරීම් පිළිබඳ අතීතයේ ඕනෑ තරම් උදාහරණයන් ඇත.
මෙම ගිවිසුමේ සැබෑ ස්වරූපය ජනතාවට දැන ගැනීමට අවස්ථාවක් නොදී මෙවැනි ගිවිසුමක් අස්සන් කිරීම නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි.
එබැවින් කෙටි කාලීන ආර්ථික උවමනාවන් උදෙසා මෙම ගිවිසුම ඉදිරියට පවත්වා ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටිමු.
මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කරනු ලැබු විස්තර වාර්තාව අඩංගු දෑ සැකවින් මෙසේය.
මෙම ගිවිසුමේ ප‍්‍රඥප්තියේ ශ්‍රී ලංකා රජය යන්න වෙනුවට මූල්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය නම් කර ඇත.මෙම තත්ත්වය සමස්ත ගිවිසුම ක‍්‍රියාත්මක වීමේදී බලපෑම් ඇති කරයි.
මෙම ගිවිසුමේ 5 වැනි වගන්තිය යටතේ ‘‘ ඕනෑම වෙනත් ගිවිසුමක් ’’ යන්න සඳහන් වන අතර ඒ පිළිබඳ පැහැදිලි අර්ථ කථනයක් නොමැත.මෙම තත්ත්වය අනාගතයේදී අහිතකර ලෙස බලපානු ඇත.
ගිවිසුමේ 2 වගන්තියේ අදාළ අරමුදලෙහි පොලිය පිළිබඳව නිවැරදි ලෙස අර්ථ දක්වා නොමැත.
3.3 වගන්තිය අනව ශ්‍රී ලංකා රජය ඉදිරියේදී එළැඹෙන වෙනස් ගිවිසුම් වලට මෙම ගිවිසුම සෘජුවම බලපෑම් කරයි.ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සෘජුවම විදේශීය බලපෑම් එල්ලවේ.
ගිවිසුමේ ඇමිණුම් අංක අනුව මෙම ගිවිසුමෙන් මූලිකව ඉඩම් අලෙවි පිළිබඳ කරුණු ගෙන හැර පා ඇත.එය මෙරට ඉඩම් සංවර්ධන පනතට පටහැනිය.
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පාර්ලිමේන්තුව සතුවේ.වෙනස් රටක ගිවිසුමක් මඟින් ඊට බලපෑම් කළ නොහැක.මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට බලපෑම් සිදුවේ.
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් බලවත් රටකි.එබැවින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සෘජුවම බලපෑම් සිදුවේ.
එබැවින් මෙම ගිවිසුම මඟින් සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බව ශ්‍රී ලංකා නීතීඥ සංමයේ මතය වේ.
COMMENTS
කොහෙද ඔය කියන ස්වෛරීභාවය දැන් ඉතුරුවෙලා තියෙන්නේ? තවත් පහු වුණොත් ඉන්දියන් කාරයන් ඔය තුට්ටු දෙකටත් විදිනවා. ඉන් පස්සේ චීනාගෙන් තායි ස්වෛරීභාවය සල්ලිදීලා ගන්න වෙන්නේ. නීතිඥයින්ට රටේ දියුණුවෙන් වැඩක් නැහැ. ගිනිකන සල්ලි තියෙන නිසා... නමුත් රටවැසියන් ඉන්නේ අමාරුවෙන්. කිසිම සංවර්ධනයකට මුදල් නැහැ. රීරි යකා හරි එක්කලා එකතුවෙලා රට ගොඩගන්න අවශ්‍ය වෙලාවක් මේක... ඔය ගිවිසුමෙන් පස්සේ විවෘත වෙන ඇමෙරිකානු වෙළඳපොල අර 225 දෙනා කාබාසිනියා නොකළොත් රටට හොඳ කලක් යනවා සිකුරුයි. ඒ වුණාට ඔය කියන නීතිඥයින් තමුන්ගේ ළමයි එවන්න හදන්නේ ඇමෙරිකාවට...
ඇමෙරිකාවට ගැතිවීම කුමන රජයක් ආවත් ඉදිරියේදීත් සිදුවනු ඇත. රට ගැන හිතනවාට වඩා කුමන බලවත් රටකට හෝ හේත්තු වී බලයේ වැජඹීම මහපක්ෂ දෙකේම බලාපොරොත්තුවයි.
ගරු නීති සංගමයේ නිතීඥ මහතුනි, කරුණාකර ශ්‍රේෂ්ට අධිකරණයටවත් කරුණු දක්වලා පෙත්සමක් ඉදිරිපත් කරලා තහනම් නියෝගයක් ගන්න බැරිවේද? ඡන්දය අවසන් වෙන තුරුවත්... මේක මැතිවරණ කාලය නිසා හා මේ ගිවිසුමෙන් රටේ ස්වෛරී භාවයට හානි වෙන නිසා. සමහරු කියන විදියට රජය කඩිමුඩියේ මේ ගිවිසුම අත්සන් කරන්නේ ඡන්දයට... ඒ සල්ලිත් වියදම් කරන්න වියහැකියි. සමහරුන්ට ඕනේ රට විකුණලා හරි සල්ලි හොයාගන්න. එජාපයේ අයට රටක ස්වෛරී බව ගැන හැඟීමක් හෝ තේරුමක් නැහැ.
රටට හිතකර හෝ අහිතකර ගිවිසුම් අත්සන් මෙම අවස්ථාවේ කිරීම ජනතාවට හෙළිකල යුතුයි.
ලෝකයේ දියුණු රටවල් සිය ගණනක් මේ වැඩසටහනේ ඉන්නවා. මේ මිනිස්සු මේ ඡන්දෙ වෙලාවේ බොර දියේ මාළු බාන්න හදන්නේ. එ්ත් දැන් ඉතින් ඇමෙරිකන් කුමන්ත්‍රණයක් කියලා කියන්න බයයි.
මේ වෙලාවේ ගිවිසුම්වලට යෑම වැරදියි තමයි. නමුත් එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානිවනවා නම්, අර හිටපු ඇමරිකානු පුරවැසියෙක් වගේම ඔහුගේ පවුලේ අය තවමත් ඇමරිකන් පුරවැසියා වන පුද්ගලයා යම් විදියකින් ජනාධිපති වුණොත් රටේ ස්වෛරීභාවයට හානිවෙන්නේ නැද්ද මහත්තයෝ? ලස්සනට රූකඩය නටවයි ඕන ඕන විදියට.. ඒක නිසා ඔය ගිවිසුම්වලට විරෝධතා දක්වනවා වගේම ඒ රූකඩයටත් විරෝධය පාන්න තිබුණා හරි නම්.. මේවා දෙබිඩි ප්‍රතිපත්ති...!
තව සුමාන තුනක් ඉවසන්න.
ඇමෙරිකාවත් එක්ක තිබෙන අපේ නෑදෑකම් වැඩි වෙමින් යන කාලයක මේක ගත්තම මොකද්ද වැරැද්ද?
සුපුරුදු ඩොලර් හිගමනේ සතුට විදින්න කෙල වෙලා යන බව දැන දැන ම මේක කරන්නේ සල්ලි ටික බලාගෙන. සජිත්ට ලැබෙන ඡන්ද ටිකත් දෙයියන්ගේ පිහිටෙන් නැති වෙලා අනිත් අයට ඒ වාසියත් ලැබෙයි. අනිත් එක වෙනත් අපේක්ෂකයෙක් පත් උනාම මේ සල්ලි ටිකත් ඒ අයගේ බුදලේ කරගෙන තව කන්න පුළුවන්නේ. බලාගෙන ඉන්නකෝ. නැතිනම් හැම මගුලටම උසාවි දුවන කට්ටිය මේකට විරුද්ධව නඩුවක් දාල මේක නවත්වන්නේ නැත්තේ ඇයි?
එතකොට අපේ අපේක්ෂකතුමත් ඇමෙරිකානුද ?