එෆ්.අස්ලම්


උතුරු පළාත් හිටපු වනිතා කටයුතු ඇමැතිනී ආනන්දි ශෂිධරන්  මහත්මිය මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය හා සහභාගී වීමට කරන ලද නිවාඩු ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.


ඇය රාජ්‍ය සේවයේ නිලධාරිනියක වීමත් රාජ්‍ය ආයතනයක සේවය කර සිටීමත් මත ඇයට නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ හේතුවෙන් සදුදා (25) වැනිදායින් ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ශෂිධරන් මහත්මියට සහාභාගී වීමට නොහැකි වී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.


කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේ සමෘද්ධි සේවා ඒකකයේ කළමනාකාර සහකාරවරියක ලෙස  කටයුතු කළ ආනන්දි ශෂිධරන් මහත්මිය පසුගිය ඔක්තෝබර් 25 වැනි දා උතුරු පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ 28 වැනි දා යළිත් රාජ්‍ය සේවයට වාර්තා කර තිබිණි.


එම තනතුරේ රාජකාරී කර සිටියෙදී ජිනීවා සැසිවාරය සඳහා සහභාගී වීමේ අරමුණින් නිවාඩු ඉල්ලා තිබුණ ද කිලිනොච්චිය දිසා ලේකම්වරයා ප්‍රමුඛ ඉහළ බලධාරීන් නිවාඩු ලබාගැනීමට මේ වනතෙක්ම අවසර ලබාදී නොමැත.


එල්.ටී.ටී.ඊ සංවිධානයේ ත්‍රීකුණාමලය දිසාවේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිධරන් හෙවත් එලීලන්ගේ බිරිය වන ආනන්දි ශෂිධරන් මීට පෙර සෑම ජිනීවා සැසිවාරයකටම සහභාගී වෙමින් යුක්තිය ඉටුකරන්නැයි හඩනගා තිබිණි.