(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොරෝනා මර්දන  අස්ට්‍රාසෙනිකා එන්නතේ  දෙවෙනි මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත  පාවිච්චි කිරීම සඳහා සෞඛ්‍ය විද්වත් මණ්ඩලයේ සහ බෝවන රෝග පිළිබඳ විද්‍යා  කමිටුවේ නිර්දේශ ඉදිරි දෙසතියේදී ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද  (23) පැවසුවාය .

අස්ට්‍රාසෙනිකා  එන්නත ලබා ගැනීමට නොහැකි වුවහොත් දෙවෙනි මාත්‍රාව ලෙස  ෆයිසර්  එන්නත ලබාදීමට හැකියාව ඇත්දැයි විද්වත් මණ්ඩලය පරික්ෂා කර ගෙන යන බවද පළමු මාත්‍රාව ලෙස වෙනත් එන්නත් ලබා ගත් අවස්ථාවලදී ලෝකයේ බොහෝ රටවල් දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර්  එන්නත භාවිතා කරන බවද ඇය සඳහන් කළාය.

ෆයිසර් එන්නත  එලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවලින් සාධනීය ප්‍රතිඵල ලැබෙමින් පවතින බවද වන්නිආරච්චි මහ්ත්මිය කීවාය.

සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා පරීක්ෂණ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අස්ට්‍රාසෙනිකා  එන්නත ලබා ගැනීමට රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් උපරිම උත්සාහයක් ගන්නා බවත් කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ එම එන්නත් දෙලක්ෂ හැට හතර දහසක් ලැබීමට නියමිත බවත් ඇය සඳහන් කළාය .

ඉන්දියාවේ අස්ට්‍රාසෙනිකා එන්නත්  නිෂ්පාදකයා එන්නත්  අපනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය පැන නැගී ඇතැයි පැවසූ සෞඛ්‍ය ඇමැතිවරිය ශ්‍රී ලංකාව පමණක් නොව පළමු මාත්‍රාව ලෙස අස්ට්‍රාසෙනිකා එන්නත්  ලබාගත් තවත්  රටවල් බොහොමයක් මේ ගැටළුවට මුහුණදී ඇතැයි ද සඳහන් කළාය.