(නිමන්ති රණසිංහ)

සුළු බෝග සහ පොල් වගා කිරීම සඳහා අවශ්‍ය වාර්තා ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් ඉල්ලා ලබා ගනිමින් සිටී  බෙන්තොට ගොවිජන ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීයෙක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම විසින් අද (25) බෙන්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකාර ව්‍යාපාරිකයා විසින් සැකකාර ගොවිජන ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියාට අල්ලස් වශයෙන් රුපියල් 15000 මුදලක් මුලින් ලබා දෙනු ලැබ ඇති අතර , තවත් රුපියල් විසිපන්දහසක මුදලක් අද (25) ලබා දීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ (විමර්ශන) ජේෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක විතානගේ  මහතා පැවසීය.

සැකකරු 58 හැවිරිදි කළුවැල්ල ගාල්ල ප්‍රදේශයේ පදිංචි අයකු බවද ඔහු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් බවද හෙතෙම සඳහන් කළේය.

සුළු බෝග සහ පොල් වගා කිරීම සඳහා අවශ්‍ය වාර්තා ලබාදීමට සැකකරු විසින් පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවත් එය අවස්ථා තුනක දී ලබා ගැනීමට පොරොන්දු වී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වෙතැයි අල්ලස් කොමිසම පවසයි.

ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බෙන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී සැකකරු අදාළ අල්ලස් මුදල අද (25 ) ලබාගනිද්දී මෙලෙස අත්අඩංගුවට මතු බව ද අල්ලස් කොමිසම සඳහන් කරයි.